Thursday, August 23, 2012

බාලේ බැදි ආලේ (අවසාන කොටස)

මුල් කොටස කියෙව්වෙ නැති අය ඒකත් බලලම ඉන්නකෝ..


දැන් මං ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න එක අන්දිට හරි ප්‍රශ්නයක්.ඇහුවට කවුරුත් කියන්නෙත් නෑ.මාව දකින්නවත් නැති නිසා මෙයාගේ කට පොඩ්ඩක් අඩු වෙලා හිටියේ.  වෙනදට පාරෙ ඉදන් ගමටම ඇහෙන්න ජෝතිපාලගේ සිංදු කියනවා. එයා ඒ දවස්වල කියන්න ඇත්තේ මේක වෙන්න ඇති.

" හීන් හඩට ඉකි බිදුම් ඇහෙන්නේ
හීන් නගා ඇයි ගේ මුල්ලේ"

කොහොම හරි මෙයා අපේ අම්මාගෙන් අහනවා. රන්ඩු වෙනවා. මොකද මං පේන්න නැත්තේ කියලා. අපේ අම්මා බේරෙන්නම බැරි තැන කියලා තිබුනා කුමාරිට සනීප නැ උණ හැදිලා කියලා. මට ගෙදරට කිව්වේ කුමාරි කියලා. මෙයා ජනේලේ එල්ලිලා මෙහෙම කැ කහනවා

"කුමාරියෝ කුමාරියෝ එලියට වරෙන් බං...මොකද වෙලා තියෙන්නේ" 
මට ඉතිං පව් කියලත් හිතෙනවා. අම්මා මට කියලා තිබුනේ පිට පිරිමි එක්ක කතා කරන්නත් එපා කියලා. ඔය කිව්වට ම‍ට ගේ ඇතුළට වෙලා ඉන්නම බැ. දැගලිල්ලනේ ඉතිං. නැකත් බලපු වෙලාවෙත් කියලා තිබුනා මේක වෙලා තියෙන්නේ හවස් වරුවක කැලෑවකදි කියලා. අන්දියි අපේ ගමේ කෙල්ලෝ කොල්ලොයි එක්ක කැලෑ වල මයි හිටියේ.ගඩා ගෙඩි කකා.  ඒක නිසා බැනුම් වලිනුයි උපදෙස් වලිනුයි මගේ කන් දෙක පිරිලා තිබුනේ.

මං සාලෙට ඇවිත් ඉන්නකොට මෙයා එනවා. මං ඉතිං හිනාවෙලා ඇතුළට යනවා. අපේ අම්මා කිව්වලු කුමාරිට නපුරු උණක් හැදිලා තියෙන්නේ. ඒ නිසා නැකතක් හදලා කුමාරි නාවන්න ඕන කියලා. ඒ ගමන මෙයා නැන්දගෙනුත් අහලා එයාටත් ඒ උණ ‍බෝ වුනොත් එයත් නාවනවද කියලා?

කොහොම හරි අපිට ඒ වෙනකොට ළිදක් තිබුනේ නැ. නැන්දලගේ ළිදට තමයි යන්නේ. ඒත් දැන් මගේ සිද්දිය නිසා වතුර ඕන උනා. අන්තිමට නැන්දලගේ පුතාල ටික සේරම එකතුවෙලා මං වෙනුවෙන් අපේ ගෙදරට වතුර ඇද්දා.ඒ හැම වෙලාවකම අන්දි අපේ ගේ ඇතුළට හොර ඇහ දාන හැටි මට තාමත් මතකයි.
අපේ අයියා ඇරුණම මං පිරිමියෙකුට කියලා මුලින්ම දැක්කේ අන්දිව. මොකද මෙයාගෙන්බේරෙන්න ම බැරි වුනානේ.

ඉතිං එයා මේකේ ඇත්ත කතාව දැන ගත්තට පස්සේ  අමුතු කෙනෙක් දිහා බලනවා වගේ මං දිහා බැලුවේ. මට නිකන් එයා දුරස් කෙනෙක් වගේ දැනුනේ. වැඩිය කතා කරෙත් නැ. මං දැක්කම ලැජ්ජවෙන් ඇඹරෙනවා. මූණ රතු වෙනවා. මං නම් ඉතිං හිටියා වගේමයි. දැන් ඉතිං අන්දිත් එක්ක ඕනවට වඩා නටන්න යන්න එපා කියලා අම්මායි අක්කයි තහංචි දැම්මා. නැන්දත් උපදෙස් දුන්නා. ඒත් මට කිසි දෙයක අමුත්තක් දැන්නේ නැහැ.

මං වෙනද වගේ උදේට එහෙට දුවනවා මූණ හෝදන්න.ඒත් අන්දි වෙනද වගේ මූණ බලලා කතා කරන්නේ නැ. මට දුකයි ඉතිං. මං හිතන්නේ ලැජ්ජාවටද කොහෙද එයා මං මග අරිනවා වගේ දැනුනේ. මං එන්න කලින් ඉස්කෝලේ ගියේ. මං ඉතිං අනිත් කට්ටිය එක්ක යනවා. ඒත් ඔහොම තිබුනේ සතියයි. ආයෙත් මෙයා වෙනද වගේම හිනා වෙලා කතා කරා.

ඉස්සර මෙයා හවසට ඕලු මල් මිටියක් කඩලා පාරෙ ඉදන් මට කෑ ගහනවා.
"කුමාරි මෙහෙ එන්නකෝ බඩ්ඩක් දෙන්න" මං ඉතිං දන්නවා කතා කරන කොටම. ලස්සන ඕලු  මල් මිටියක් කඩලා ගෙනත් දෙනවා.

පස්සේ කාලෙක එයාට මෙහෙම හිතෙන්න ඇති
"පොඩි කාලේ මරද වැල්ලේ 
වැලි බත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ
කෝ බැන්ද ඕලු මාලේ  :(

ආයෙම වෙනසක් නැ අපි දෙන්න රන්ඩු වෙවි ඉස්කෝලේ යනවා. ඒ දවස්වල විද්‍යාව පාඩමට ස්වභාවික පාට වර්ග හදන්න කියලා දුන්නා, ගස් වල පොතු වලින්. අපේ ගෙවල් පැත්තේ ටිකක් ලොකු කැලෑවක් තියෙනවා. ඒක කන්දක්. අපි දෙන්න තනියම එහේ යනවා. හැබැයි හොරෙන්.. ඩී.ගල් දිගේ නැගලා කන්දට යනවා කොහොම හරි. මෙයා ඉතිං රටේ නැති කතා කියනවා. කන්දේ තියෙන හොල්මන් අවතාර ගැන. නිදන් වදුල ගැන. මග දිගටම බය කර කර තමයි එක්ක ගෙන යන්නේ. ඉතිං ගස්වල පොතු ගලවගෙන  මා දං  හිඹුටු කාලා කට රතු කරන් තමයි කන්දෙන් බහින්නේ. දැන් නම්  එතන ආරණ්‍ය සේනාසනයක් හදවලා තියෙනවා.
 අපි දෙන්න හොරු දෙන්න වගේ ගෙදරට ඇවිත් සද්ද නැතුව ඉන්නවා. ඒත් හැමදාම වගේ අක්කට අහු වෙනවා. අන්දිට අයියා කෙනෙක් ඉන්නවා. හරිම වසයි.එයලට ගහනවා හොදටම. අන්දිට ගහනකොට මං පළාත දෙවනත් වෙන්න කෑ ගහලා අඩනවා එයාට ගහන්න එපා කියලා.(මලිත් ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ. :p ඒ වගේ තමයි ඉතිං) අනේ මන්දා ඒක ඇයි කියලා. මට කාගෙවත් කදුලු බලන්න වත් වේදනාවල් බලන්න වත් බැහැ.

අන්දි හරිම ලැජ්ජ කාරයෙක්. ඉස්කෝලෙදි මාත් එක්ක හරිම අඩුවෙන් කතා කරන්නේ. හැම දාම එකම පන්තියේ හිටියේ. ඒත් කතා කරන්නේ නැහැ. ඉස්කෝලේ එනකොටයි යනකොටයි තමයි. ඒත් පස්සේ පන්තියේ කොල්ලෝ මෙයාට විහිලු කරනවලු මාත් එක්ක යන්නේ මොකද? මාත් එක්ක යාලුයි නේද? කියලා. පස්සේ ‍මෙයාට ලැජ්ජ හිතිලා මාත් එක්ක යන එන එක අඩු කරා. ඒත් ගෙදර ආපු ගමන් දුවන් එන්නේ අපේ ගෙදර.

තරු රටා ගැන උගන්වන කාලේ අපි දෙන්න බෙල්ලේ අමාරුවක් හැදෙනකම්ම උඩ බලන් හිටියා. පස්සේ අපේ අක්කා ඉස්කෝලේ ටීචට පැමිණිලි කරලා තිබුනා අපි දෙන්නගේ පිස්සුව ගැන. ටීචත් අවවාද කරාම තමයි ඒ සෙල්ලම නතර කරේ.
මෙයා තමයි මගේ බොඩි ගාඩ් ඒ කාලේ. අම්මෝ කේලම් කියනවා හරියට. කොල්ලෙක් බැලුවත් ඇති. ඔය අතරෙ මෙයාට පිනා චාන්ස් එහෙම පහළ වෙනවා. අයියලා දෙන ටොපි චොකලට් කන්න.. ඩී... කට්ටිය අන්දිව යාලු කර ගන්න හරියට ට්‍රයි කරා. කවදාවත් අර කොල්ල හොදයි කියලා අන්දි මට කියලා නැහැ. වරදක්ම තමයි කියන්නේ.

අන්දිගේ හිතේ මං ගැන තිබුනේ මොන වගේ දෙයක්ද කියලා මට තාමත් හිතා ගන්න බැහැ. ඒත් මං නැතුව ඉන්නෙත් නැහැ. මගේ අයියා ඇරුණම මගේ ජීවිතේ ඒ තරමටම විශ්වාසවන්ත පිරි‍මියෙක් මට තාම මුණ ගැහිලා නැහැ. හැමදාම හැම දේකින්ම මාව පරිස්සම් කරා.


මං සාපෙළ පාස් උනා. එයා පේල් උනා. මං අලුත් ඉස්කෝලෙකට ගියා උසස් පෙළට. ආයෙම අපි දෙන්න ඇත් වුනාද මන්දා. එයා කුරුදු වැඩ කරේ. පවුලේ හැමොමත් එක්ක. ඉස්කෝලේ විස්තරයි හැමදේම මං එයා එක්ක කියනවා. එයා ඒ කාලේ සල්ලි එකතු කරලා බයික් එකක් ගත්තා. ඒක අරන් ආපු දවසේ කිව්වේ "මං මේකේ මුලින්ම අරන් යන්නේ කුමාරි.. එහෙම අරන් ගිහින් වට්ටනවා  මහ පාරේ."කියලා. ඒත් අන්දි එහෙම මාව වැට්ටුවේ නම් නැ.

කොහෙම වුනත් මේ දවස්වල අපේ අයියා හිටියේ ගමෙන් පිට ජොබ් එකක. අක්කත් බැදලා ගිහින්. අම්මයි මමයි විතරයි හිටියේ ගෙදර. අන්දි තමයි අපේ ජීවිත වල ආරක්ෂකයා වෙලා හිටියේ. රෑ වෙනකොට අපේ ගෙදරට එනවා. අපේ තනියට. දැන් මතක් වෙද්දි හිතෙනවා එහෙම කැප කිරීමක් එයා කරේ ඇයි කියලා?. මං ඒකයි කියන්නේ එයා තරම් විශ්වාසවන්ත පිරිමියෙක් මට මුණගැහිලා නැහැ කියලා. ගේ වටින් පොඩි හරි සද්දයක් ඇහුනොත් අපිට කලින් එයා නැගිටලා ගිහින් බලනවා.අවුරුදු දෙකක් විතර එයා මාව පරිස්සම් කරා.
ඊට පස්සේ මං කැම්පස් ගියා. එයා ගමේ වැඩ කරගෙන හිටියා. කවදාවත් එයා මට ආදරෙයි කියලා නැහැ.මං හිතන්නේ අපි අතරේ තිබුනේ සහෝදර බැදීමක්.එයාගේ අයියා කෙනක්ගෙන් මට වුනු වරදකට එයා දවසක් හොදටම ඇඩුවා. මං උසස් පෙළ කරන කාලේ.

"මට සමාව දිපන් කුමාරි...
ආයෙ එහෙම දෙයක් අයියගෙන් වෙන්න තියන්නේ නැහැ මං.." මට දැන් මතක් වෙද්දිත් දුකයි. එයා අයියලගේ වැරදි වලටත් මගෙන් සමාව ගත්තා.

කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට එයාලගේ තාත්තගේ ලොකු වරදක් නිසා අපියි එයාලයි අතර තිබුනු සම්බන්දය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.ඒත් මං හිතුවේ නැහැ තාත්තගේ වැරදි වලට අන්දිට දඩුවමක් දෙන්න. මට එයා එක්ක කතා කරන්න ඕන වුනා . ඒත් ඒකට අද වෙනකම් අවස්ථාවක් ආවේ නැහැ. :( . එයාටත් ඕන ඇති මාත් එකක් කතා කරන්න. ඒත් මොනව හරි බලපෑමක් නිසා එයා මාව මගඇරියා. 
පුංචි කාලේ අත්දෙක අල්ලගෙන සෙල්ලම් කරපු මගේ යාලුවා. සහෝදරයා මගේ අත අත ඇරලා දැම්මා.

මගේ ජීවිතේ ඒ දුක තාම තියෙනවා. තවමත් ගෙදර ගියාම අහම්බෙන් දැක්කම යන්තම් හිනාවෙලා යනවා. කවදහරි මාව බදිනවා කියා කිය කිය හිටිය අන්දි මටත් නොකියම කසාද බැන්දා. එයා ගේ ළග නංගි කෙනෙකුට කියලා තිබුනා. මට කුමාරිට කියන්න ඕන.. එත් ගෙදර නිසා කියන්න විදියක් නැහැ කියලා. එදා මට හිතුනා ඇත්තටම එයාට මාත් එක්ක කතා කරන්න ඕන ඇති කියලා. එයාට දැන් එයා වගේම සුදුම සුදු පුතෙක් ඉන්නවා.

අපි දෙන්න පොඩි කාලේ ඉදලම එකට ඉදලා අද දෙපැත්තට වෙලා ඉන්නේ කියලා මට තේරෙන්නේ නැහැ.

කවදහරි අපි දෙන්න ආයෙ මුණගැහේවි. එදාට අපි අර පුංචිම පුංචි දවස්වල වගේ කතා කරමු. අත් දෙක අල්ල ගන්න නම් බැරි වේවි. ඒත් අපිට ඒ අතීතයට එක පාරක් හරි ගිහින් එන්න පුලුවන් වේවි.

කතාව දිග වැඩි වුනාද මන්දා.. උපරිම කෙටි කරලා ලිව්වේ. ලියූ දේට වඩා නොලියූ දේ වැඩියි කියලයි හිතෙන්නේ...


43 comments:

  1. ගයා ගීතයන් ගමේ වෙල් එළියේ
    දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
    ඔබ සමගින් එදා මේ මා තමා
    අද නැතුවා වගේ ඔහු මේ ගමේ .......:P

    අමතක කරන්න බැරි ලස්සන මතකයක් වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්.. අමතක කරන්න අමාරුයි..

      Delete
  2. හප්පා......මට මේ කියන්න දෙයක් හිතාගන්න බැරුවඉන්නේ.........

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැතුවද?
      මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා

      Delete
  3. අනේ..මන් හිතුවේ මෙහෙම අවසානයක් නෙවෙයිනේ.. මන් හිතුවේ තාම යාළුවෝ දෙන්නා එකට ඇති කියලා..හ්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. හැම කතාවක්ම සුඛාන්තයකින් ඉවර වෙනව නම් කොයිතරම් හොදයිද?

      Delete
  4. වචන වලට කොච්චර බලගතු දේවල් කරන්න පුලුවන්ද කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා .

    ReplyDelete
  5. කුමක් කියන්නද නොසිතෙයි... කතාව පෙළගැසීම අපූරුයි...ජය

    ReplyDelete
  6. අන්දිත් එක්ක කතා කරන්න. ඒ කතාවත් ළඟදීම ඔයා අපිට කියයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතෙනවා එයාට කතා කරන්න.

      Delete
  7. ඔව්...අනිවා..මුනගැහේවි...!
    එසේම වේවා..!!

    ReplyDelete
  8. සිරාවට දගකාරියේ මටත් ඔහොම සිං කෝන් එකක් තියනවනේ........ :(

    ReplyDelete
    Replies
    1. ඒකත් මගේ වගේ දුකකින්ද අවසන් වෙලා තියෙන්නේ...:(

      Delete
  9. සම්පූර්ණ ස්ටෝරියම සිංදුවෙන් වගේ...ඒකත් මරු !

    ReplyDelete
  10. දුක හිතෙන කතා ලියන්න එපා........

    ReplyDelete
    Replies
    1. මාත් ආස නැ බටපොල මල්ලි.. ඒත් ඉතිං දුක හිතෙන දේවලුත් ජීවිතේ තියෙනවානේ :(

      Delete
  11. ""කවදහරි අපි දෙන්න ආයෙ මුණගැහේවි. එදාට අපි අර පුංචිම පුංචි දවස්වල වගේ කතා කරමු. අත් දෙක අල්ල ගන්න නම් බැරි වේවි. ඒත් අපිට ඒ අතීතයට එක පාරක් හරි ගිහින් එන්න පුලුවන් වේවි.""

    ඒ අතීතෙට අයෙ කිසි දවසක යන්න හිතන්නවත් එපා .ඔයා ඒ ලස්සන අතීතේ අතරමං වේවි ..ඔයාට ගොඩාක් දුක හිතේවි....සමහරවිට ඒ අතීතයේම ඉන්න හිතේවි.....


    ලස්සනයි සහෝ... කඳුලුත් ආව......

    ReplyDelete
  12. ඔව්..මට අතීතයේම ඉන්න බැහැ කියලා මං දන්නවා. ඒත් ඒ අතීතයට මං ආසයි..


    ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  13. ගොඩක් සම්බන්දකම් වලට නමක් දෙන්න බැහැ. හිතේ කහටක් නැතුව ආශ්‍රයක් නමක් හොයන්න ඕනෙත් නැහැ. එකිනෙකා ගැන සැලකිලිමත් වෙලා දුකසැප බෙදාගත්ත එකනෙ කලේ.
    දැන් කාලෙ කොහොම වුනත් ඒ කාලෙ සිහිවටන හොඳටම ඇතිනෙ හැමදාටම හිතල සතුටු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන්. මං මේක ලියල තිබ්බ එකත් මට සතුටක්...

      Delete

  14. කවදහරි අපි දෙන්න ආයෙ මුණගැහේවි. එදාට අපි අර පුංචිම පුංචි දවස්වල වගේ කතා කරමු. අත් දෙක අල්ල ගන්න නම් බැරි වේවි. ඒත් අපිට ඒ අතීතයට එක පාරක් හරි ගිහින් එන්න පුලුවන් වේවි.

    මෙන්න මේ ටික බොහොම තදින් හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ස්තුතියි කාව්‍යා..අපි දෙන්නගෙම හිතේ තරහක් නැති නිසා මං එයා එක්ක ළගදිම කතා කරනවා :)

      Delete
  15. කවදාහරි එයා කතා කරාවී!!! ඔයා ඊටපස්සෙත් ලියන්න වෙච්චි දෙ!!! හැබැයි දුකයි..මම හිතුවෙ නෑ අන්තිමට මෙහ්ම වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මටත් දුකයි..ඒත් ඒක තමයි සිද්ද වුනේ.. :(

      Delete
  16. මමත් හිතන්නේ එයා එක්ක කතා කරන්න තවමත් පරක්කු නෑ කියලා. පවුලේ ප්‍රශ්න නිසා පොඩිකාලෙ ඉඳන් හිටපු හොඳම යාලුවෝ දෙන්නෙක් විරසක වෙලා වගේ ඉන්න එක තේරුමක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් තොටියෝ.. මං කතා කරන්න ඕන..එයා කොහොම කතා කරයිද කියලා හිතට බයක් දැනෙනවා...ඒත් මං කතා කරනවා

      Delete
  17. හ්ම්ම්..අවසානය අනාගතේදී ලස්සන උනොත් ඇත්තටම හොඳයි! :)

    ReplyDelete
  18. තරහ වෙලා ඉමු අපි දෙන්නා
    කීවෙමු ඊයේ අපි දෙන්නා
    ඒ මොහොතේ සිට
    ගෙවු හැම මොහොතෙම
    හිතේ මනාපය දහස් ගුණේකින් වැඩි වූවා.....

    ReplyDelete
  19. හරියටම හරි දායානන්ද අයියේ...

    ReplyDelete
  20. ගොඩක් වෙලාවට මෙහෙම දේවල් වෙන්නේ ඇයි කියල මටත් හිතා ගන්න බෑ. ඇත්තම කියනව නම් කවදාවත් කතා නොකර දවසක් ගෙවන්න බැරිව හිටිය, දැක්කෙ නැත්නම් දවසම පාලු හිතෙන, එයාට මමත් මට එයත් එකම වගේ ආදරේ කරපු සහොදර සෙනෙහසක් මටත් තිබුන. ඒකට වුනේ මොකද්ද කියන්න මං දන්නෑ ඒත් දැන් ඒක නෑ දැන් එයා මං එක්ක තරහයිද මම එයා එක්ක තරහයිද කියන්න මම දන්නේ නෑ ඒත් මේ කතාව මට මගේ අතීතයට යන්න පාර කියල දුන්නා.

    ආයෙත් එයා මාත් එක්ක කතා කරන්න ආවත් මම කතා නොකරාවී මෙච්චර කාලයක් මගෙන් ඈතට වෙලා ඉදලා ආයෙමත් මගේ ලගට එන්න හැදුවට මං ඉඩක් දෙන්නේ නෑ. මට බෑ එහෙම කරන්න. ඒත් මං තවම ආදරෙයි මගේ ඒ පුංචි නංගිට ඒත් ඒ අතීතය එහෙම්මම තිබුන දෙන්.

    ඔයා කතාව ලියාගෙන එද්දිම මම දැනං වුන්නා මේක අවසන් වෙන්නේ දුක හිතෙන විදිහට කියලා. කතාව අතීතය ගොඩක් මතක් කරල දුන්න මගෙත් අපි හැමොගෙම ජිවිත වල ඔය වගේ කතාවල තියෙනවනේ හැංගිලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි..මටත් ඔයාට දැනෙනවා වගේ හැගීමක් තියෙන්නේ. එයා මං එක්ක තරහද? මං එයා එක්ක තරහද කියලා මටම තේරෙන්නේ නැ..එයා හිතනවා ඇති මං තරහා වෙලා කියලා. ඒත් එහෙම නැහැ. මට තාමත් එයා මතක් වෙනවා.එයා මාව බලා ගනිපු හැටි මතක් වෙනවා.ඒත් මොනා හරි දෙයක් අපි දෙන්නව ඈත් කරලා.

      Delete
  21. බොහොම අනපේක්ෂිත අවසානයක්...
    ඉක්මනට අන්දි එක්ක කතා කරල ඒ විස්තරෙත් අපිට කියන්න...

    ReplyDelete
    Replies
    1. ආ.. නාගයෙකුත් අවිත්..ස්තුතියි....

      Delete
  22. හරිම දුක හිතෙන කතාවක් අක්කේ.....එක හුස්මට කියෙව්ව.....!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි....

      Delete
  23. අදම තමයි මේ පැත්තේ ආවේ.අනේ මන් හිතුවේ නෑ මෙහෙම දෙයක්.නන්දි අන්දියි දෙන්නම පව්.ඒත් දැන් ඉතින් මොනා කරන්නද.

    ReplyDelete