Wednesday, August 29, 2012

ජීවිතයෙන් දවසක්.....

එදා මං ඔෆිස් රාජකාරිවලට ක්ෂේත්‍රයට ගිය දවසක්...
දෙකට විතර වැඩ ඉවර කරලා දාඩිය පෙරාගෙන දුම දාගෙන ගෙදර දුවන් ආවේ. බඩගින්නයි මහන්සියයි දෙකම තිබුනා.
ගෙදරට එද්දි අයියයි අක්කයි අක්කගේ මහත්තයා මගේ මස්සිනා අයියයි අක්කගේ දරුවො දෙන්නයි සේරම ඇවිත් හිටියා. හැමෝම හිනා වේවි සතුටින් හිටියේ. හරියට පුංචි මගුල් ගෙයක් වගේ. කාලෙකින්නේ කට්ටියම එකට කන්නේ. අම්මා ඉතිං එහාට මෙහාට වේවි කන්න දෙනවා. අතනට මෙතනට දුවනවා. 
මං හිටියේ අලි බඩගින්නක.
අරෙහෙන් මෙහෙන් අත හොදගෙන මං
"අම්මේ.............. කට්ටියම කාලද?........"
බත් බෙදන ගමන්ම මං කෑ ගැහුවා
"හැමෝම කාලා..... ඔයාට ඇතිවෙන්න බෙදාගෙන කන්න...."
අපේ අම්මගේ සැම්පලේ දන්න නිසා මං අයෙම ඇහුවා
"අම්මේ.......ඔයා කෑවද?........"
"මං කාලා .., ඔයා ඇතිවෙන්න බෙදාගෙන කන්න"
"අම්මෙ එහෙනම් මං මේ.......සේරම බෙදා ගන්නවා....."

එහෙම කියලා මං තිබුනු එලවලු ජාති සේරම බෙදා ගත්තා. සෙල්ලම් බඩගින්නක නෙවෙයි හිටියේ.
මං කාලා බීලා කරලා සේරම ඉවර වෙනකොට අක්කලත් ගිහින්. ගෙදර තිබුනේ පාලු ගතියක්. මං ඉතිං හෙමිහිට මූණු පොත පැත්තට එන්න කොම්පිතරේ ළග ඉදගත්තා.

එතකොට තමයි මං දැක්කේ ඉතුරුවුන බත් ටිකකුයි හරියට එලවළුවක් වත් නැතුව අම්මා කන්නේ ඒ වෙලාවේ බව...ඒවෙනකම් දරුවන්ගේ කුස පුරවපු අම්මා තමන්ගේ කුසගින්න අපි වෙනුවෙන් ඉවසුවා....

මට ඒ වෙලාවේ හිතට ඇති වුන හැගීම ගැන කියන්න මං ළග වචන නැහැ...

Thursday, August 23, 2012

බාලේ බැදි ආලේ (අවසාන කොටස)

මුල් කොටස කියෙව්වෙ නැති අය ඒකත් බලලම ඉන්නකෝ..


දැන් මං ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න එක අන්දිට හරි ප්‍රශ්නයක්.ඇහුවට කවුරුත් කියන්නෙත් නෑ.මාව දකින්නවත් නැති නිසා මෙයාගේ කට පොඩ්ඩක් අඩු වෙලා හිටියේ.  වෙනදට පාරෙ ඉදන් ගමටම ඇහෙන්න ජෝතිපාලගේ සිංදු කියනවා. එයා ඒ දවස්වල කියන්න ඇත්තේ මේක වෙන්න ඇති.

" හීන් හඩට ඉකි බිදුම් ඇහෙන්නේ
හීන් නගා ඇයි ගේ මුල්ලේ"

කොහොම හරි මෙයා අපේ අම්මාගෙන් අහනවා. රන්ඩු වෙනවා. මොකද මං පේන්න නැත්තේ කියලා. අපේ අම්මා බේරෙන්නම බැරි තැන කියලා තිබුනා කුමාරිට සනීප නැ උණ හැදිලා කියලා. මට ගෙදරට කිව්වේ කුමාරි කියලා. මෙයා ජනේලේ එල්ලිලා මෙහෙම කැ කහනවා

"කුමාරියෝ කුමාරියෝ එලියට වරෙන් බං...මොකද වෙලා තියෙන්නේ" 
මට ඉතිං පව් කියලත් හිතෙනවා. අම්මා මට කියලා තිබුනේ පිට පිරිමි එක්ක කතා කරන්නත් එපා කියලා. ඔය කිව්වට ම‍ට ගේ ඇතුළට වෙලා ඉන්නම බැ. දැගලිල්ලනේ ඉතිං. නැකත් බලපු වෙලාවෙත් කියලා තිබුනා මේක වෙලා තියෙන්නේ හවස් වරුවක කැලෑවකදි කියලා. අන්දියි අපේ ගමේ කෙල්ලෝ කොල්ලොයි එක්ක කැලෑ වල මයි හිටියේ.ගඩා ගෙඩි කකා.  ඒක නිසා බැනුම් වලිනුයි උපදෙස් වලිනුයි මගේ කන් දෙක පිරිලා තිබුනේ.

මං සාලෙට ඇවිත් ඉන්නකොට මෙයා එනවා. මං ඉතිං හිනාවෙලා ඇතුළට යනවා. අපේ අම්මා කිව්වලු කුමාරිට නපුරු උණක් හැදිලා තියෙන්නේ. ඒ නිසා නැකතක් හදලා කුමාරි නාවන්න ඕන කියලා. ඒ ගමන මෙයා නැන්දගෙනුත් අහලා එයාටත් ඒ උණ ‍බෝ වුනොත් එයත් නාවනවද කියලා?

කොහොම හරි අපිට ඒ වෙනකොට ළිදක් තිබුනේ නැ. නැන්දලගේ ළිදට තමයි යන්නේ. ඒත් දැන් මගේ සිද්දිය නිසා වතුර ඕන උනා. අන්තිමට නැන්දලගේ පුතාල ටික සේරම එකතුවෙලා මං වෙනුවෙන් අපේ ගෙදරට වතුර ඇද්දා.ඒ හැම වෙලාවකම අන්දි අපේ ගේ ඇතුළට හොර ඇහ දාන හැටි මට තාමත් මතකයි.
අපේ අයියා ඇරුණම මං පිරිමියෙකුට කියලා මුලින්ම දැක්කේ අන්දිව. මොකද මෙයාගෙන්බේරෙන්න ම බැරි වුනානේ.

ඉතිං එයා මේකේ ඇත්ත කතාව දැන ගත්තට පස්සේ  අමුතු කෙනෙක් දිහා බලනවා වගේ මං දිහා බැලුවේ. මට නිකන් එයා දුරස් කෙනෙක් වගේ දැනුනේ. වැඩිය කතා කරෙත් නැ. මං දැක්කම ලැජ්ජවෙන් ඇඹරෙනවා. මූණ රතු වෙනවා. මං නම් ඉතිං හිටියා වගේමයි. දැන් ඉතිං අන්දිත් එක්ක ඕනවට වඩා නටන්න යන්න එපා කියලා අම්මායි අක්කයි තහංචි දැම්මා. නැන්දත් උපදෙස් දුන්නා. ඒත් මට කිසි දෙයක අමුත්තක් දැන්නේ නැහැ.

මං වෙනද වගේ උදේට එහෙට දුවනවා මූණ හෝදන්න.ඒත් අන්දි වෙනද වගේ මූණ බලලා කතා කරන්නේ නැ. මට දුකයි ඉතිං. මං හිතන්නේ ලැජ්ජාවටද කොහෙද එයා මං මග අරිනවා වගේ දැනුනේ. මං එන්න කලින් ඉස්කෝලේ ගියේ. මං ඉතිං අනිත් කට්ටිය එක්ක යනවා. ඒත් ඔහොම තිබුනේ සතියයි. ආයෙත් මෙයා වෙනද වගේම හිනා වෙලා කතා කරා.

ඉස්සර මෙයා හවසට ඕලු මල් මිටියක් කඩලා පාරෙ ඉදන් මට කෑ ගහනවා.
"කුමාරි මෙහෙ එන්නකෝ බඩ්ඩක් දෙන්න" මං ඉතිං දන්නවා කතා කරන කොටම. ලස්සන ඕලු  මල් මිටියක් කඩලා ගෙනත් දෙනවා.

පස්සේ කාලෙක එයාට මෙහෙම හිතෙන්න ඇති
"පොඩි කාලේ මරද වැල්ලේ 
වැලි බත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ
කෝ බැන්ද ඕලු මාලේ  :(

ආයෙම වෙනසක් නැ අපි දෙන්න රන්ඩු වෙවි ඉස්කෝලේ යනවා. ඒ දවස්වල විද්‍යාව පාඩමට ස්වභාවික පාට වර්ග හදන්න කියලා දුන්නා, ගස් වල පොතු වලින්. අපේ ගෙවල් පැත්තේ ටිකක් ලොකු කැලෑවක් තියෙනවා. ඒක කන්දක්. අපි දෙන්න තනියම එහේ යනවා. හැබැයි හොරෙන්.. ඩී.ගල් දිගේ නැගලා කන්දට යනවා කොහොම හරි. මෙයා ඉතිං රටේ නැති කතා කියනවා. කන්දේ තියෙන හොල්මන් අවතාර ගැන. නිදන් වදුල ගැන. මග දිගටම බය කර කර තමයි එක්ක ගෙන යන්නේ. ඉතිං ගස්වල පොතු ගලවගෙන  මා දං  හිඹුටු කාලා කට රතු කරන් තමයි කන්දෙන් බහින්නේ. දැන් නම්  එතන ආරණ්‍ය සේනාසනයක් හදවලා තියෙනවා.
 අපි දෙන්න හොරු දෙන්න වගේ ගෙදරට ඇවිත් සද්ද නැතුව ඉන්නවා. ඒත් හැමදාම වගේ අක්කට අහු වෙනවා. අන්දිට අයියා කෙනෙක් ඉන්නවා. හරිම වසයි.එයලට ගහනවා හොදටම. අන්දිට ගහනකොට මං පළාත දෙවනත් වෙන්න කෑ ගහලා අඩනවා එයාට ගහන්න එපා කියලා.(මලිත් ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ. :p ඒ වගේ තමයි ඉතිං) අනේ මන්දා ඒක ඇයි කියලා. මට කාගෙවත් කදුලු බලන්න වත් වේදනාවල් බලන්න වත් බැහැ.

අන්දි හරිම ලැජ්ජ කාරයෙක්. ඉස්කෝලෙදි මාත් එක්ක හරිම අඩුවෙන් කතා කරන්නේ. හැම දාම එකම පන්තියේ හිටියේ. ඒත් කතා කරන්නේ නැහැ. ඉස්කෝලේ එනකොටයි යනකොටයි තමයි. ඒත් පස්සේ පන්තියේ කොල්ලෝ මෙයාට විහිලු කරනවලු මාත් එක්ක යන්නේ මොකද? මාත් එක්ක යාලුයි නේද? කියලා. පස්සේ ‍මෙයාට ලැජ්ජ හිතිලා මාත් එක්ක යන එන එක අඩු කරා. ඒත් ගෙදර ආපු ගමන් දුවන් එන්නේ අපේ ගෙදර.

තරු රටා ගැන උගන්වන කාලේ අපි දෙන්න බෙල්ලේ අමාරුවක් හැදෙනකම්ම උඩ බලන් හිටියා. පස්සේ අපේ අක්කා ඉස්කෝලේ ටීචට පැමිණිලි කරලා තිබුනා අපි දෙන්නගේ පිස්සුව ගැන. ටීචත් අවවාද කරාම තමයි ඒ සෙල්ලම නතර කරේ.
මෙයා තමයි මගේ බොඩි ගාඩ් ඒ කාලේ. අම්මෝ කේලම් කියනවා හරියට. කොල්ලෙක් බැලුවත් ඇති. ඔය අතරෙ මෙයාට පිනා චාන්ස් එහෙම පහළ වෙනවා. අයියලා දෙන ටොපි චොකලට් කන්න.. ඩී... කට්ටිය අන්දිව යාලු කර ගන්න හරියට ට්‍රයි කරා. කවදාවත් අර කොල්ල හොදයි කියලා අන්දි මට කියලා නැහැ. වරදක්ම තමයි කියන්නේ.

අන්දිගේ හිතේ මං ගැන තිබුනේ මොන වගේ දෙයක්ද කියලා මට තාමත් හිතා ගන්න බැහැ. ඒත් මං නැතුව ඉන්නෙත් නැහැ. මගේ අයියා ඇරුණම මගේ ජීවිතේ ඒ තරමටම විශ්වාසවන්ත පිරි‍මියෙක් මට තාම මුණ ගැහිලා නැහැ. හැමදාම හැම දේකින්ම මාව පරිස්සම් කරා.


මං සාපෙළ පාස් උනා. එයා පේල් උනා. මං අලුත් ඉස්කෝලෙකට ගියා උසස් පෙළට. ආයෙම අපි දෙන්න ඇත් වුනාද මන්දා. එයා කුරුදු වැඩ කරේ. පවුලේ හැමොමත් එක්ක. ඉස්කෝලේ විස්තරයි හැමදේම මං එයා එක්ක කියනවා. එයා ඒ කාලේ සල්ලි එකතු කරලා බයික් එකක් ගත්තා. ඒක අරන් ආපු දවසේ කිව්වේ "මං මේකේ මුලින්ම අරන් යන්නේ කුමාරි.. එහෙම අරන් ගිහින් වට්ටනවා  මහ පාරේ."කියලා. ඒත් අන්දි එහෙම මාව වැට්ටුවේ නම් නැ.

කොහෙම වුනත් මේ දවස්වල අපේ අයියා හිටියේ ගමෙන් පිට ජොබ් එකක. අක්කත් බැදලා ගිහින්. අම්මයි මමයි විතරයි හිටියේ ගෙදර. අන්දි තමයි අපේ ජීවිත වල ආරක්ෂකයා වෙලා හිටියේ. රෑ වෙනකොට අපේ ගෙදරට එනවා. අපේ තනියට. දැන් මතක් වෙද්දි හිතෙනවා එහෙම කැප කිරීමක් එයා කරේ ඇයි කියලා?. මං ඒකයි කියන්නේ එයා තරම් විශ්වාසවන්ත පිරිමියෙක් මට මුණගැහිලා නැහැ කියලා. ගේ වටින් පොඩි හරි සද්දයක් ඇහුනොත් අපිට කලින් එයා නැගිටලා ගිහින් බලනවා.අවුරුදු දෙකක් විතර එයා මාව පරිස්සම් කරා.
ඊට පස්සේ මං කැම්පස් ගියා. එයා ගමේ වැඩ කරගෙන හිටියා. කවදාවත් එයා මට ආදරෙයි කියලා නැහැ.මං හිතන්නේ අපි අතරේ තිබුනේ සහෝදර බැදීමක්.එයාගේ අයියා කෙනක්ගෙන් මට වුනු වරදකට එයා දවසක් හොදටම ඇඩුවා. මං උසස් පෙළ කරන කාලේ.

"මට සමාව දිපන් කුමාරි...
ආයෙ එහෙම දෙයක් අයියගෙන් වෙන්න තියන්නේ නැහැ මං.." මට දැන් මතක් වෙද්දිත් දුකයි. එයා අයියලගේ වැරදි වලටත් මගෙන් සමාව ගත්තා.

කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට එයාලගේ තාත්තගේ ලොකු වරදක් නිසා අපියි එයාලයි අතර තිබුනු සම්බන්දය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.ඒත් මං හිතුවේ නැහැ තාත්තගේ වැරදි වලට අන්දිට දඩුවමක් දෙන්න. මට එයා එක්ක කතා කරන්න ඕන වුනා . ඒත් ඒකට අද වෙනකම් අවස්ථාවක් ආවේ නැහැ. :( . එයාටත් ඕන ඇති මාත් එකක් කතා කරන්න. ඒත් මොනව හරි බලපෑමක් නිසා එයා මාව මගඇරියා. 
පුංචි කාලේ අත්දෙක අල්ලගෙන සෙල්ලම් කරපු මගේ යාලුවා. සහෝදරයා මගේ අත අත ඇරලා දැම්මා.

මගේ ජීවිතේ ඒ දුක තාම තියෙනවා. තවමත් ගෙදර ගියාම අහම්බෙන් දැක්කම යන්තම් හිනාවෙලා යනවා. කවදහරි මාව බදිනවා කියා කිය කිය හිටිය අන්දි මටත් නොකියම කසාද බැන්දා. එයා ගේ ළග නංගි කෙනෙකුට කියලා තිබුනා. මට කුමාරිට කියන්න ඕන.. එත් ගෙදර නිසා කියන්න විදියක් නැහැ කියලා. එදා මට හිතුනා ඇත්තටම එයාට මාත් එක්ක කතා කරන්න ඕන ඇති කියලා. එයාට දැන් එයා වගේම සුදුම සුදු පුතෙක් ඉන්නවා.

අපි දෙන්න පොඩි කාලේ ඉදලම එකට ඉදලා අද දෙපැත්තට වෙලා ඉන්නේ කියලා මට තේරෙන්නේ නැහැ.

කවදහරි අපි දෙන්න ආයෙ මුණගැහේවි. එදාට අපි අර පුංචිම පුංචි දවස්වල වගේ කතා කරමු. අත් දෙක අල්ල ගන්න නම් බැරි වේවි. ඒත් අපිට ඒ අතීතයට එක පාරක් හරි ගිහින් එන්න පුලුවන් වේවි.

කතාව දිග වැඩි වුනාද මන්දා.. උපරිම කෙටි කරලා ලිව්වේ. ලියූ දේට වඩා නොලියූ දේ වැඩියි කියලයි හිතෙන්නේ...


Sunday, August 19, 2012

බාලේ බැදි ආලේ......

මටත් තිබුනනේ බාලේ බැදි ආලයක්.... මේ කියන්න යන්නේ ඒ කතාව

එයා මගේ නැන්දගේ පුතා. මට වඩා මාස 3 යි වැඩුමල්. හිටියේ ඉස්සරහ ගෙදර. මෙයා ඉපදිලා මාස තුනකින් මං ඉපදුනේ. සුටි කාලෙ ඉදලා එකට හැදුන නිසා අපි දෙන්න හරිම යාලුයි. ඒ කියන්නේ එයා නැතුව මෙයාට බැ මෙයා නැතුව එයාට බැ..අපි දෙන්න රන්ඩු කර ගත්තේ එකම එක දේකටයි. ඒ එයා මට වඩා සුදුයි. එයා හරි ආඩම්බරෙන් හිටියේ ඒකට. ඒත් ඉතිං මාව නැතුව නම් කිසි දෙයක් බැහැ. මං එයාගෙ නංගිනේ. මෙය මට කිව්වේ නන්දි කියලා මං කිව්වේ අන්දි කියලා. අය්යනේ ඉතිං. මෑතක වෙනකම්ම එයාට කට්ටිය කතා කරේ අන්දි කියලා. 
     අපි දෙන්න සෙල්ලම් කරේ එකට. මං කොම්පිට්ටු හැදුවම එයා කරේ එවා කඩලා බිදලා දාන එක. අපිට සෙල්ලම් බඩු තිබුනෙ නැහැ සෙල්ලම් කරන්න. එයා තමයි සුටි සුටි සෙල්ලම් බඩු මට හදලා දීලා විරයා වෙන්නේ. අපේ සෙල්ලම් ගෙදර එයා තාත්තා මං අම්මා. මං දරුවො නළවනවා. එයා කැම හොයන්න යනවා.
    ඔන්න  ඉති ඔහොම ඉන්න කොට අපි දෙන්න දැන් මොන්ඩසෝරි යන වයසේ. අන්දියා කරේ වැඩි පුරම කට්ටි පැනපු එක. අපි දෙන්නම සමහර දවස්වල කට්ටි පනිනවා. දෙන්න එක්ක කැලේ සෙල්ලම් කරලා වෙලාවට ගෙදර යනවා. මොන්ඩසෝරි යනවට වඩා කැලේ කොලේ ඇවිදින එක කොයිතරම් සතුටක්ද? අපේ අක්කන්ඩි නම් මට මේවට හොදට දඩුවම් කරා. ඩී... ඒ ඉතිං මං කැලේ කොලේට යයි කියලා බයටනේ. ඔය කාලෙම තමයි අන්දි කිව්වෙ‍ මං කවදහරි නන්දිව කසාද බදිනවා කියලා. ඒක හැමෝටම කිව්වා. ඩී... තේරුමක් ඇතිව නෙවෙයි ඉතිං.

අපි දෙන්නට එක ළග පුටු දෙකක් නැති වුනොත් අඩනවා දෙන්නම. අන්දි නැතුව නන්දිට බැහැ. හැමදාම කොහොම හරි එක ළග ඉදගන්නවා. එයා වැඩිපුර කරේ සෙල්ලම් කරපු එක. මං නම් සුට්ටක් විතර දස්සයිලු එයාට වඩා.
ඉතිං කොහෙමෙ හරි ඉස්කෝලෙට දැම්මා.  අපේ අක්කා තමයි මාව භාර දුන්නේ. එක දවසයි දෙන්න ඉස්කෝලෙ එක්කගෙන ගියේ. ඊළග දවසේ ඉදන් අන්දි කිව්වා අක්කේ ඔයා එන්න එපා මං නන්දිත් එක්ක ඉස්කෝලේ යන්නම් කියලා. එයා විරයා වෙලා ඉදිරිපත් වුනා. එදායින් පස්සේ හැමදාම අපි දෙන්න තනියම ඉස්කෝලෙ ගියේ. ඉතිං පාර දිගේ ගඩා ගෙඩි කකා ඉස්කෝලෙ ගිහිපු කාලෙ නම් හරිම සුන්දරයි. පන්තියේ අපි දෙන්න හිටියේ එක ළග. එක ළග ඕන කියලා දෙන්නම ඇඩුවා. අපි දෙන්න ළග නපුරු වස කොල්ලෙක් හිටියා. අපි දෙන්නටම හරියට කරදර කරා. අන්දිගේ අයියා එතකොට 4 වසරේ. එයා තමයි ඇවිත් අපි දෙන්නව බේර ගන්නේ.

          අපි දෙන්න ඔය විදියට හැමදාම ඉස්කෝලේ ගියා. අන්දි මට ගැහුවම මං හොදටම අඩනවා. ආයෙම එයාම ඇවිත් මාව යාලු කර ගන්නවා. ගෙදර ගිය වෙලාවෙ ඉදන් කැලවල් වල තමයි අපි දෙන්නා හිටියේ. අපේ අක්කා ඇවිත් දෙන්නටම ගහලා එක්කගෙන යනවා.
       ඔය කාලේ තමයි අපේ අක්කා කැම්පස් ගියේ. අක්කා මාව එක්කගෙන යන්න එනවනම් මං හරිම ආසයි. කවදාවත් කවුරුවත් අපි දෙන්නව එක්කගෙන යන්න ඇවිත් නැහැනේ. ඒ නිසා මාර ආසයි. අක්කා කියනවා පැටියෝ මං ඊළග සදුදා ගෙදර එනවා. එනකොට ඔයාව එක්කගෙන යන්න එන්නම් කියලා. අනේ ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා පාරට වෙලා බලන් ඉන්නවා අක්කා එනකම්. දවසක් ඔහොම ඉදලා පාරෙ යන මනුස්සයෙක් අපි දෙන්නට ටොපිත් අරන් දීලා කිව්වා. අක්කා ආවම මං එවන්නම් දැන් දෙන්නම යන්න කියලා. ඊය පස්සේ තමයි ගියේ. ඉතිං අක්කා ආවේ නැති වුනාම හරිම දුකයි. දැනුත් ඒ දුක මට දැනෙනවා. සුටිම කාලේ ඇතිවුන සුටිම අහිංසක බලාපොරොත්තුවක්. ඒත් ඒක ඉටු වුනේ නැහැ. :'( අක්කා ඉතිං බොරුවට අපි අඩනවට තමයි අරෙහෙම කියලා තියෙන්නේ.

            ඔය වගේ එක දවසක් හොදටම වැස්ස. ගංවතුර ගලලා. අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා අන්දිලාගේ ආච්චි කෙනෙක්ගේ ගෙදර ගිහින් එහෙන් කාලා හොදට නිදා ගත්තා. අපිට නිකම් වත් හිතුනේ නැ අපි දෙන්නව හොයාවි කියලා. අම්මයි නැන්දයි අපි දෙන්නවා හොයනවලු අඩ අඩා. අනේ මේ දරු දෙන්නා කෝ. අද කුකුලෙකුත් ගහගෙන ගිහින්ලු කිය කිය.. පස්සේ බැරිම තැන තමයි ආච්චිලහට ඇවිත් තියෙන්නේ. එනකොට අපි දෙන්න හොදටම නිදි. අවු 8 දරු පැටවුනේ ඉතිං.

ඔහොමම අපි දෙන්න ලොකු වුනා. හැමදාම ඉස්කෝලේ ගියේ එකට. අපි සිස්සත්වෙත් ලිව්වා දෙන්නම පේල්.. ඩී. ඊට පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා 6 වසරට. ඒත් එකටමයි. ඒකාලේ අපි කුරුදු ඉඩම් වලයි රබර් වතු වලයි තමයි කරක් ගැහුවේ. අපේ අම්ම නම් කිව්වේ ගොඩම් බැද්ද පූ කරනවා කියලා. අපි රබර් වතු වල තියෙනු පොඩි දිය පාරවල් වල (ඒ කාලේ නම් අපිට ඒවා ගගවල් වගේ) අපි දෙන්න මැණික් ගරනවා,තිත්තයො අල්ලනවා.....පී.. කොහොමද මැණිකක් වත් හම්බවුනා නම්...හැමදාම රතු කට්ටයි නිල් කට්ටයි හම්බවෙනවා.

අපි දෙන්න ඊළගට හොයා ගන්න පුලුවන් තැන් තමයි මාර ගහ යටයි. කජු ගස් යටයි. අපි දෙන්න අතුරැදන් වුනාම අම්මයි අයියයි අක්කයි අපි දෙන්නව හොයාගෙන එන්නේ ඔය තැන් වලින් තමයි. මාර ගහ බාප්පලගේ. කජු ගහ අපේම යාලුවෙකුගේ. හොරාට තමයි ඒවායි කජු කැඩුවේ. අපි දෙන්න හොරකමටත් දස්සයි.
අපි 7 වසර වෙද්දි සුට්ටක් ඇත් වුනා. ඒත් ඒ ඉස්කෝලෙදි විතරයි. මගතොටේදි එකටමයි හිටියේ.අනේ ඇත්තටම මුන් දෙන්නා බදිවිද දන්නේත් නැහැ කියලා ඕන තරම් නැන්දා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා.  8 වසර වෙද්දි මං සුට්ටක් ලොකුයි. කොල්ලෝ එහෙම ටිකක් බලනවා වැඩියෙන්. අන්දිට ඉතිං යකා නගිනවා. මං කොල්ලෝ දිහා බලනවා කියලා රන්ඩු කරනවා. ගෙදරට කේලම් කියනවා. වැඩ ගොඩායි ඉතිං..

ඔය කාලේ මගේ ජීවිතේ යං විසේස සිදුවීමක් වුනා. අන්දිට මෙලෝ තේරුමක් නැහැ. මේ විජ්ජුම්බරේ මොකක්ද කියලා..

එයා ඒකට පුතිචාර දක්වපු විදිය ඊළග පොස්ට් එකෙන් කියන්නම්....

දිග වැඩි වුනාද මන්දා





Friday, August 17, 2012

සියල්ල අවසන්ය.... එහෙත් නුඹ..?



 පළමුව
Black List කළෙමි
නුඹේ දු.ක
මකා සියලු මතක
මුහුණු පොත මත රැදි
Unfriend කර දැමුවෙමි
නුඹව..
එයිනිදු නොනැවතී
block list කළෙමි යළිත්
නුඹෙ මුහුණු පොත

සියල්ල අවසානය....

ඒ සියල්ල අවසන
නුඹ 
වෙනදටත් වඩා 
සුන්දරව
මගේ හදවතේ 
පළමු තැන හිද
හිනහෙනවා දුටුවෙමි.



ප.ලි.: මෙය කවියක් නෙවන බවත් නිකන්ම නිකන් සිතුවිල්ලකට අනුව පෙළ ගැසුනු පද පෙළක් බවත් කරුණාවෙන් සලකන්න

Wednesday, August 15, 2012

මහවැලි ගග ඉස්මත්තේ බිංකෙටුවා මං



ඔන්න කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ දෙයියනේ කියලා අපිට හොස්ටල් නැහැ. බෝඩිමක් හොයා ගන්න හැමතැනම ඇවිද්දා. අන්තිමට කැම්පස් එකේ ඉදලා හැතැක්ම 9 ක් 10 ක් විතර දුරින් තිබුන බෝඩිමක් හොයා ගත්ත. ළගිනුත් තිබුනා. ඒත් ආර්ථිකය දුර්වල නිසා අපි කෙල්ලෝ පස් දෙනෙක් දොලුව පාරෙ තිබුනු  බෝඩිමට ගියා. ඒ කියන්නේ අනිත් තැන්වල රු 1200ක් විතර ගන්නකොට අපෙන් ගත්තේ 600 යි. කිසි අඩු පාඩුවක් නැහැ. ස්වභාවික නල ජලය තිබුනා. මහවැලි ගග අද්දර සුන්දර කදු මායිමක තමයි ඒ ගෙදර තිබුනේ.

ඉති ඒහේ හිටිය අයියයි අක්කයි දෙන්න හරිම හොදයි. ඉතිං ඔය දවස්වල අපේ එක්කෙනෙක් ළග වත් කන්න කියලා සත 5 ක් වත් තිබුනේ නැහැ. කැම්පස් ජීවිත ගැන ආයෙ අලුතින් කියන්න දෙයක් නැහැනේ.ඉතිං බෝඩිමට ගිය  මුල්ම දවසේ කන්න නැහැ කියලා කියන්නත් ලැජ්ජයිනේ. කෝකටත් කට්ටිය එක්ක වතුර පීල්ලකින් නාලා කරලා ක්ලීන් සූට් ඇදලා කරලා කෑම හොයන්න පිටත් වුනා. විලි ලැජ්ජාවේ බැහැ. කෙල්ලෝ පස් දෙනා හැතැක්ම දෙකක් විතර පයින් ඇවිල්ලා දන්සැලකට ගොඩ උනා. හොද වෙලාවට පොසොන් කාලේ. ‍දන්සැලේ හිටපු අයියලා මල්ලිලා ටික අපිව දැකලා ඉක්මනටම කෑම බෙදලා දුන්න. හිතෙන්න ඇති  සා ගින්දරේ ආපු කට්ටියක් කියලා. මොකද මූණක කටක ලේ කදුලක් වත් නැහැනේ.

ඔන්න එදායින් පස්සේ බෝඩිම් ජීවිතේ පටන් ගත්තා. එක බස් එකකින් පැයකට විතර පස්සේ තමයි ඊළග බස් එක එන්නේ. ඒ දවස්වල දොලුවේ බස් එකක් දැක්කත් වදිනවා. මොකද ඒ තරමටම දුර්ලභයි දොලුවේ බස්.

ඉතිං බෝඩිමේ අයියලගේ ප්‍රධාන ජීවන වෘත්තිය වුනේ හේන් ගොවිතැන. මහවැලි ගග අද්දර තමයි හේ න තිබුනේ. මුල් දවස්වල අපි ආසාවට ඒක බලන්න යනවා.අපිට කන්න නැති වෙලාවට බෝඩිමේ අක්කා එලවලු එහෙම අපිට දෙනවා. ඉතිං මේකට කලගුණ සලකන්නත් එක්ක අපිත් ලැස්ති වුනා හේන් කොටන්න යන්න. :P ඉතිං පාඩම් වැඩ සේරම පැත්තක තියලා අපි 4 දෙනෙක් පෝලිමට කොට කලිසනුත් ගහගෙන හේනට යනවා. වටේ පිටේ කටිටිය හිතන්න ඇති අයියලා මේ පාර නම් හොද පටිටියක් වැඩට අල්ලගෙන කියලා :p

අපි හේන් කෙටුවා 4 දෙනෙක් එක්ක. කට්ට අවුවේ.ගෙදරදි නිකමට උදැල්ලක් අල්ලන්නේ නැහැ ඒ වුනාට. ඒ වගේද නිකන් කන්න හම්බවෙන එක. එලවලු ජාති අපේ අතින්ම පැල කරා. ඇත්තටම හරි සතුටින් ඒ හැම දෙයක්ම කරේ. බෝංචි, මයියොක්කා,ලීමා,දඹල,බඩ ඉරිගු,... වගේ ගොඩක් ජාති හිටෙව්වා. ඒ වුනාට අපි බයෙන් හිටයේ අපේ අතින් අල්ලලා ඕවා පැළවෙයි ද දන්නේ නැහැ කියලා. ඒත් සරුවට හැදුනා. අපේ අත්ගුණේටද කොහෙද. ඩී
වැඩ කරලා ඊළගට කරන්නේ මහවැලි ගගේ නාන්න යන එක. ගග දැක්කම මුලින් බය හිතුනත් පස්සේ ගග අපිට හුරැ වුනා මං හිතන්නේ...පීනන්නත් පුරැදු උනා. මට නම් ගෙබි ආරට හොදට පීනන්න පුලුවන්.:p
ඔන්න ඔය වගේ සුන්දර කාලයක් අපි බෝඩිමේ ගෙව්වා. කාලය යනවා දැනුනේ නැහැ. අපිම වවපු ඒවා තමයි කෑවේ.
තව එකක්.. බෝඩිමේ තිබුනා ලොකු කාබරංකා (කාම+රංකා)ගහක්.. ඕවා කැවම මොනා ද ඇවිස්සෙනවලු. ඒ කතා වලින් වැඩක් නැහැ. මගේ ඒ කාලේ ලොකුම විනෝදාශය වුනේ ගහට නැගලා පහළ පාරෙන් යන කොල්ලන්ට කාබරංකා ගෙඩි වලින් ගහන එක.

ඔය විදියට ගස්වල කොලයි මලුයි ගෙඩියි අලයි මුලුයි කාලා මාසෙකින් විතර ගෙදර යන්නේ ඇවිදින ඇටසැකිලි වගේ වෙලා.
ඒත් ආයෙම ඒ කාලෙට යන්න පුලුවන්නම් මං දෙපාරක් හිතන්නේ නැහැ.... ඒ තරම් සුන්දරයි


Monday, August 13, 2012

සිතුවිල්ලක්.......


තාරකා නෙතු යුග
එලිය දුන් නුඹට
පෙර දින
මතක නම් 
ඒ මග තවම ,

ඔබ එනවද කියන්න......

සුමුදුම සුසුමකට 
ඉඩ ඇත
අඩ සද මත.....

Friday, August 10, 2012

ඔබ ගැන දැනගත්ත කැමතිද?

ඔන්න අද නම් වැදගත්ම වැදගත් පොස්ටුවක් දාන්න හදන්නේ. ඕනම කෙනෙක් නැමතියිනේ තමන් ගැන දැනගන්න. මේක මං අත්හදා බලපු එකක්. මට නම් 100% නිවැරැදි පිළිතුරු තමයි ලැබුනේ. මේක අනේ මං හොයාගත්ත එකක් නම් නෙවෙයි. ටිබෙටයෙහි අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා එතුමාගේ අනුගාමිකයන්ට  තමන් පිළිබදවම අවබෝධයක් ලබා ගැනිමට තමයි මේ ප්‍රශ්නාවලිය දීලා තියෙන්නේ.
මේකෙදි තමන් තමන්ට අවංක වෙන්න ඕන. බොරු හිත හිත දාලා හරියන්නේ නැ.

පුංචිම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට කලින් ඔයාල හිත එකලස් කරගෙන විනාඩියක් පමණ ඇස් පියාගෙන ඉන්න ඕන. 
ඊළගට පහත නම් කරපු සත්තු 5 දෙනා ඔයා කැමති විදියට පෙළගස්වන්න. වැඩි වෙලාවක් හිත හිත ඉන්නේ නැතුව මුලින්ම හිතට එන අදහසට අනුව පෙළගස්වන්න.

අශ්වයා
එළදෙන
බැටලුවා
ඌරා
කොටියා

පහත දැක්වෙන පාට ට තමන් කැමති පවුලේ හෝ ජීවිතයට සමීප කෙනෙක් නම් කරන්න

උදා : කහ - අපේ අම්මගේ තාත්තගේ සීයගේ බාප්පගේ ආච්චිගේ දුගේ දුව
කහ
තැඹිලි
රතු
සුදු
කොල


පහත දක්වා තිබෙන දේවල්  ගැන ඔයාලට මුලින්ම හිතෙන අදහස ලියන්න
උදා : මීයා- මට වඩා ටිකක් ලොකුයි
බල්ලා
පූසා
මීයා
කෝපි
මුහුද

මීළගට සතියේ කැමති දවසක් හා කැමති අංකයක් නම් කරන්න

මේකෙන් බලාගන්න පුලුවන් තමන්ගේ ගතිගුණ සහ තමන් ජීවිතයේ වැදගත්කොට සලකන දේවල් ගැන. 



මේකට පිළිතුරු අවශ්‍ය අය කමෙන්ට් කරන්න.




Sunday, August 5, 2012

නූපන් දෝණියට.........



තරු නෙතු දිලෙන ඉගිබිගි කෙලි            සිනාවා
මාගේ ඇසට තුටු කදුලැලි                  ගෙනේවා
පියතුම වෙහෙස දුරලන කවි                 කතාවා
දුක් දොම්නසට නුඹෙ හස වේ               ඉනාවා


බෝනික්කන්ට පණ ලැබිලා හඩනු         ඇසේ
සුරතල් හඩින් ඇසේවි නැලවිල්ලෙ         රසේ
නූපන් දුවේ මා ළය උණු කරන්            මෙසේ
නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ              කුසේ