Sunday, September 2, 2012

දගකාරි අවුරුදු කුමාරි තරගෙකට ගිහින්......




මේක මං පුංචිම පුංචි කාලේ සිද්දියක්. මට මතක විදියටයි අපේ අක්කා මතක් කරලා දෙන විදියටයි එතකොට මට අවුරුදු 5 ක් විතර ඇති. මං පුංචි කාලේ හරිම අහිංසකයිලු. චුට්ටක් වත් කරදර කරේ නැහැලු අක්කට. ඒකටත් හරියන්න දැන්.......

ඔන්න අවුරුදු කාලේ ආවා. මේ  දවස්වල අපේ ගේ කිට්ටුව තිබුනා අවුරුදු උත්සවයක්. ඒ කාලේ හැටියට ඒක ලොකු අවුරුදු උත්සවයක්. ඒක බලන්න ගියාම හැමෝම කිව්වා මාව සිගිති අවුරුදු කුමාරිට තරගෙට යවන්න කියලා.... ඒත් මට කිසිම තේරුමක් තිබුනේ නැහැ. රෙද්දක් හැට්ටයක් තිබුනෙත් නැහැ. ඒත් දැන් එක  පොරයයි මේකට යන්න. ඒ ගමන අපේ අක්කා ළග ගෙදරකින් සූටි රෙද්දක් ගෙනත් දුන්නා. ඇදගෙන හිටිය ගවුමට උඩින් තමයි රෙද්ද ඇන්දුවේ. මට තාම මතකයි ඒක. කොන්ඩේ මලක් වගේ උඩට කරලා ගැට ගැහුවා.

සිගිති අවුරුදු කුමාරි කෙනෙක් වෙනවා කියන එක ගැන නම් මට කිසිම හැගීමක් තිබුනේ නැ. ඒත් අක්කගෙන් බේරෙන්න බැරිවුන නිසා ගියා තරගෙට. අනිත් අය හැමෝම ලස්සනට ඇවිත් හටියා. කොන්ඩෙ මල් ගහලා ලස්සන රෙදි හැට්ට ඇදලා.  මං තමයි මෙලෝ රහක් නැතුව හිටියේ. ඒ දවස්වල නම් ඒකට දුක් වෙන්න වත් තේරුමක් තිබුනේ නැහැ.අක්කයි අයියයි අම්මයි දකිද්දි මං ඇඹරි ඇඹරි හිටියා හොදට මතකයි.
අපිට මුලින්ම කිව්වා රවුමක් යන්න කියලා. අලේ මන් දල්ලෑ මං රවුමට ගියා අනිත් අයත් එක්ක. ඊට පස්සේ ඉස්සරහ බලන් හිටපු අයට ආයුබෝවන් කරන්න කිව්වා. ඒකත් කරා.

දැන් ඊළගට තියෙන්නේ සිංදුවක් කියන්න. අපේ අයියා මට පාඩම් කරවලා තිබුනේ ගාථාවක්. එයා හැමදාම මාව ජෝක් එකට ගන්න එක්කෙනානේ ඉතිං.. :(  දැන් හැමෝම තාලෙට නැලවි නැලවි සිංදු කවි කියද්දි මට කියන්න වුනේ ගාථාවක්. ඒත් ඒක ගථාවක් කියලා දන්නෙත් ගොඩක් ලොකු වුනාම. ඒ කාලේ ඒක සිංදුවක් කියලා තමයි හිතාගෙන හිටියේ.. පී . ඉතිං මට ඒක අමතක වුනා කියන්න කිව්වම. මං ඉස්සි ඉස්සි අයියගේ දිහා බැලුවා. අර ටිකිරි මාරි ඇඩ් එක වගේ.... අයියා දුරින් ඉදන් කියනවා අසකි....අසකි.. කියලා. එතකොට තමයි ටිකිරි මොලේ වැඩ කරේ.

මට අපේ අයියා පාඩම් කරවපු ගාථාව තමයි මේ, ඒ කාලේ මතකෙන් ලියන්නේ. මේකේ අඩුපාඩු ඇති.

"අසකි සක්වල හැම
බඹ සුර නරෝ එක්වම
එක්වෙති නොවති සම
එවයින් මුනිරජ වේ අසම සම"

ඉතිං ඕක තමයි මං කිව්වේ. දැන් මතක් වෙද්දි මං පව් කියලත් හිතෙනවා.කොහොමත් දිනන්න ගිය තරගයක් නෙවෙයිනේ. අක්කලත් ජොලියට කරපු වැඩක්නේ.

කොහොම වුනත් අන්තිම වෙද්දි තරග ප්‍රතිඵල කිව්වා. 
ප්‍රථම ස්ථානය .....කියලා දගකාරිගේ නම කිව්වා...... සතුටුද කියලා ඇහුවා... ඒක අහන්නත් දෙයක්යැ. අනුන්ගේ රෙද්දක් නේ ඇදගෙන ගියේ....මොනා බලලාද දන්නෑ මං දිනුවේ. සමහර විට අපේ අයියගේ ගාථාව නිසාද දන්නෙත් නැහැ. තෑග්ගට ලැබුනේ සුදු පාට වීදුරු ජෝගුවක්. ඒක අපේ ගෙදර තාම තියෙනවා. ඒක තමයි එහෙම තරගෙකට ගිය මුල් සහ අන්තිම අවස්ථාව....මොනා වුනත් හරි සුන්දරයි...

මගේ පොටෝ එකක් වත් නැහැනේ ඒ කාලේ ගනිපු එකක්.

ඔය තියෙන්නේ අවු 6 දි විතර ගනිපු එකක්. තාමත් මං පොටෝ වලට ඉන්නේ ඇද වෙලා ඇස් උඩ තියාගෙන.... :)

Wednesday, August 29, 2012

ජීවිතයෙන් දවසක්.....

එදා මං ඔෆිස් රාජකාරිවලට ක්ෂේත්‍රයට ගිය දවසක්...
දෙකට විතර වැඩ ඉවර කරලා දාඩිය පෙරාගෙන දුම දාගෙන ගෙදර දුවන් ආවේ. බඩගින්නයි මහන්සියයි දෙකම තිබුනා.
ගෙදරට එද්දි අයියයි අක්කයි අක්කගේ මහත්තයා මගේ මස්සිනා අයියයි අක්කගේ දරුවො දෙන්නයි සේරම ඇවිත් හිටියා. හැමෝම හිනා වේවි සතුටින් හිටියේ. හරියට පුංචි මගුල් ගෙයක් වගේ. කාලෙකින්නේ කට්ටියම එකට කන්නේ. අම්මා ඉතිං එහාට මෙහාට වේවි කන්න දෙනවා. අතනට මෙතනට දුවනවා. 
මං හිටියේ අලි බඩගින්නක.
අරෙහෙන් මෙහෙන් අත හොදගෙන මං
"අම්මේ.............. කට්ටියම කාලද?........"
බත් බෙදන ගමන්ම මං කෑ ගැහුවා
"හැමෝම කාලා..... ඔයාට ඇතිවෙන්න බෙදාගෙන කන්න...."
අපේ අම්මගේ සැම්පලේ දන්න නිසා මං අයෙම ඇහුවා
"අම්මේ.......ඔයා කෑවද?........"
"මං කාලා .., ඔයා ඇතිවෙන්න බෙදාගෙන කන්න"
"අම්මෙ එහෙනම් මං මේ.......සේරම බෙදා ගන්නවා....."

එහෙම කියලා මං තිබුනු එලවලු ජාති සේරම බෙදා ගත්තා. සෙල්ලම් බඩගින්නක නෙවෙයි හිටියේ.
මං කාලා බීලා කරලා සේරම ඉවර වෙනකොට අක්කලත් ගිහින්. ගෙදර තිබුනේ පාලු ගතියක්. මං ඉතිං හෙමිහිට මූණු පොත පැත්තට එන්න කොම්පිතරේ ළග ඉදගත්තා.

එතකොට තමයි මං දැක්කේ ඉතුරුවුන බත් ටිකකුයි හරියට එලවළුවක් වත් නැතුව අම්මා කන්නේ ඒ වෙලාවේ බව...ඒවෙනකම් දරුවන්ගේ කුස පුරවපු අම්මා තමන්ගේ කුසගින්න අපි වෙනුවෙන් ඉවසුවා....

මට ඒ වෙලාවේ හිතට ඇති වුන හැගීම ගැන කියන්න මං ළග වචන නැහැ...

Thursday, August 23, 2012

බාලේ බැදි ආලේ (අවසාන කොටස)

මුල් කොටස කියෙව්වෙ නැති අය ඒකත් බලලම ඉන්නකෝ..


දැන් මං ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න එක අන්දිට හරි ප්‍රශ්නයක්.ඇහුවට කවුරුත් කියන්නෙත් නෑ.මාව දකින්නවත් නැති නිසා මෙයාගේ කට පොඩ්ඩක් අඩු වෙලා හිටියේ.  වෙනදට පාරෙ ඉදන් ගමටම ඇහෙන්න ජෝතිපාලගේ සිංදු කියනවා. එයා ඒ දවස්වල කියන්න ඇත්තේ මේක වෙන්න ඇති.

" හීන් හඩට ඉකි බිදුම් ඇහෙන්නේ
හීන් නගා ඇයි ගේ මුල්ලේ"

කොහොම හරි මෙයා අපේ අම්මාගෙන් අහනවා. රන්ඩු වෙනවා. මොකද මං පේන්න නැත්තේ කියලා. අපේ අම්මා බේරෙන්නම බැරි තැන කියලා තිබුනා කුමාරිට සනීප නැ උණ හැදිලා කියලා. මට ගෙදරට කිව්වේ කුමාරි කියලා. මෙයා ජනේලේ එල්ලිලා මෙහෙම කැ කහනවා

"කුමාරියෝ කුමාරියෝ එලියට වරෙන් බං...මොකද වෙලා තියෙන්නේ" 
මට ඉතිං පව් කියලත් හිතෙනවා. අම්මා මට කියලා තිබුනේ පිට පිරිමි එක්ක කතා කරන්නත් එපා කියලා. ඔය කිව්වට ම‍ට ගේ ඇතුළට වෙලා ඉන්නම බැ. දැගලිල්ලනේ ඉතිං. නැකත් බලපු වෙලාවෙත් කියලා තිබුනා මේක වෙලා තියෙන්නේ හවස් වරුවක කැලෑවකදි කියලා. අන්දියි අපේ ගමේ කෙල්ලෝ කොල්ලොයි එක්ක කැලෑ වල මයි හිටියේ.ගඩා ගෙඩි කකා.  ඒක නිසා බැනුම් වලිනුයි උපදෙස් වලිනුයි මගේ කන් දෙක පිරිලා තිබුනේ.

මං සාලෙට ඇවිත් ඉන්නකොට මෙයා එනවා. මං ඉතිං හිනාවෙලා ඇතුළට යනවා. අපේ අම්මා කිව්වලු කුමාරිට නපුරු උණක් හැදිලා තියෙන්නේ. ඒ නිසා නැකතක් හදලා කුමාරි නාවන්න ඕන කියලා. ඒ ගමන මෙයා නැන්දගෙනුත් අහලා එයාටත් ඒ උණ ‍බෝ වුනොත් එයත් නාවනවද කියලා?

කොහොම හරි අපිට ඒ වෙනකොට ළිදක් තිබුනේ නැ. නැන්දලගේ ළිදට තමයි යන්නේ. ඒත් දැන් මගේ සිද්දිය නිසා වතුර ඕන උනා. අන්තිමට නැන්දලගේ පුතාල ටික සේරම එකතුවෙලා මං වෙනුවෙන් අපේ ගෙදරට වතුර ඇද්දා.ඒ හැම වෙලාවකම අන්දි අපේ ගේ ඇතුළට හොර ඇහ දාන හැටි මට තාමත් මතකයි.
අපේ අයියා ඇරුණම මං පිරිමියෙකුට කියලා මුලින්ම දැක්කේ අන්දිව. මොකද මෙයාගෙන්බේරෙන්න ම බැරි වුනානේ.

ඉතිං එයා මේකේ ඇත්ත කතාව දැන ගත්තට පස්සේ  අමුතු කෙනෙක් දිහා බලනවා වගේ මං දිහා බැලුවේ. මට නිකන් එයා දුරස් කෙනෙක් වගේ දැනුනේ. වැඩිය කතා කරෙත් නැ. මං දැක්කම ලැජ්ජවෙන් ඇඹරෙනවා. මූණ රතු වෙනවා. මං නම් ඉතිං හිටියා වගේමයි. දැන් ඉතිං අන්දිත් එක්ක ඕනවට වඩා නටන්න යන්න එපා කියලා අම්මායි අක්කයි තහංචි දැම්මා. නැන්දත් උපදෙස් දුන්නා. ඒත් මට කිසි දෙයක අමුත්තක් දැන්නේ නැහැ.

මං වෙනද වගේ උදේට එහෙට දුවනවා මූණ හෝදන්න.ඒත් අන්දි වෙනද වගේ මූණ බලලා කතා කරන්නේ නැ. මට දුකයි ඉතිං. මං හිතන්නේ ලැජ්ජාවටද කොහෙද එයා මං මග අරිනවා වගේ දැනුනේ. මං එන්න කලින් ඉස්කෝලේ ගියේ. මං ඉතිං අනිත් කට්ටිය එක්ක යනවා. ඒත් ඔහොම තිබුනේ සතියයි. ආයෙත් මෙයා වෙනද වගේම හිනා වෙලා කතා කරා.

ඉස්සර මෙයා හවසට ඕලු මල් මිටියක් කඩලා පාරෙ ඉදන් මට කෑ ගහනවා.
"කුමාරි මෙහෙ එන්නකෝ බඩ්ඩක් දෙන්න" මං ඉතිං දන්නවා කතා කරන කොටම. ලස්සන ඕලු  මල් මිටියක් කඩලා ගෙනත් දෙනවා.

පස්සේ කාලෙක එයාට මෙහෙම හිතෙන්න ඇති
"පොඩි කාලේ මරද වැල්ලේ 
වැලි බත් උයාපු කෙල්ලේ
වැළලී ගියා අතීතේ
කෝ බැන්ද ඕලු මාලේ  :(

ආයෙම වෙනසක් නැ අපි දෙන්න රන්ඩු වෙවි ඉස්කෝලේ යනවා. ඒ දවස්වල විද්‍යාව පාඩමට ස්වභාවික පාට වර්ග හදන්න කියලා දුන්නා, ගස් වල පොතු වලින්. අපේ ගෙවල් පැත්තේ ටිකක් ලොකු කැලෑවක් තියෙනවා. ඒක කන්දක්. අපි දෙන්න තනියම එහේ යනවා. හැබැයි හොරෙන්.. ඩී.ගල් දිගේ නැගලා කන්දට යනවා කොහොම හරි. මෙයා ඉතිං රටේ නැති කතා කියනවා. කන්දේ තියෙන හොල්මන් අවතාර ගැන. නිදන් වදුල ගැන. මග දිගටම බය කර කර තමයි එක්ක ගෙන යන්නේ. ඉතිං ගස්වල පොතු ගලවගෙන  මා දං  හිඹුටු කාලා කට රතු කරන් තමයි කන්දෙන් බහින්නේ. දැන් නම්  එතන ආරණ්‍ය සේනාසනයක් හදවලා තියෙනවා.
 අපි දෙන්න හොරු දෙන්න වගේ ගෙදරට ඇවිත් සද්ද නැතුව ඉන්නවා. ඒත් හැමදාම වගේ අක්කට අහු වෙනවා. අන්දිට අයියා කෙනෙක් ඉන්නවා. හරිම වසයි.එයලට ගහනවා හොදටම. අන්දිට ගහනකොට මං පළාත දෙවනත් වෙන්න කෑ ගහලා අඩනවා එයාට ගහන්න එපා කියලා.(මලිත් ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ. :p ඒ වගේ තමයි ඉතිං) අනේ මන්දා ඒක ඇයි කියලා. මට කාගෙවත් කදුලු බලන්න වත් වේදනාවල් බලන්න වත් බැහැ.

අන්දි හරිම ලැජ්ජ කාරයෙක්. ඉස්කෝලෙදි මාත් එක්ක හරිම අඩුවෙන් කතා කරන්නේ. හැම දාම එකම පන්තියේ හිටියේ. ඒත් කතා කරන්නේ නැහැ. ඉස්කෝලේ එනකොටයි යනකොටයි තමයි. ඒත් පස්සේ පන්තියේ කොල්ලෝ මෙයාට විහිලු කරනවලු මාත් එක්ක යන්නේ මොකද? මාත් එක්ක යාලුයි නේද? කියලා. පස්සේ ‍මෙයාට ලැජ්ජ හිතිලා මාත් එක්ක යන එන එක අඩු කරා. ඒත් ගෙදර ආපු ගමන් දුවන් එන්නේ අපේ ගෙදර.

තරු රටා ගැන උගන්වන කාලේ අපි දෙන්න බෙල්ලේ අමාරුවක් හැදෙනකම්ම උඩ බලන් හිටියා. පස්සේ අපේ අක්කා ඉස්කෝලේ ටීචට පැමිණිලි කරලා තිබුනා අපි දෙන්නගේ පිස්සුව ගැන. ටීචත් අවවාද කරාම තමයි ඒ සෙල්ලම නතර කරේ.
මෙයා තමයි මගේ බොඩි ගාඩ් ඒ කාලේ. අම්මෝ කේලම් කියනවා හරියට. කොල්ලෙක් බැලුවත් ඇති. ඔය අතරෙ මෙයාට පිනා චාන්ස් එහෙම පහළ වෙනවා. අයියලා දෙන ටොපි චොකලට් කන්න.. ඩී... කට්ටිය අන්දිව යාලු කර ගන්න හරියට ට්‍රයි කරා. කවදාවත් අර කොල්ල හොදයි කියලා අන්දි මට කියලා නැහැ. වරදක්ම තමයි කියන්නේ.

අන්දිගේ හිතේ මං ගැන තිබුනේ මොන වගේ දෙයක්ද කියලා මට තාමත් හිතා ගන්න බැහැ. ඒත් මං නැතුව ඉන්නෙත් නැහැ. මගේ අයියා ඇරුණම මගේ ජීවිතේ ඒ තරමටම විශ්වාසවන්ත පිරි‍මියෙක් මට තාම මුණ ගැහිලා නැහැ. හැමදාම හැම දේකින්ම මාව පරිස්සම් කරා.


මං සාපෙළ පාස් උනා. එයා පේල් උනා. මං අලුත් ඉස්කෝලෙකට ගියා උසස් පෙළට. ආයෙම අපි දෙන්න ඇත් වුනාද මන්දා. එයා කුරුදු වැඩ කරේ. පවුලේ හැමොමත් එක්ක. ඉස්කෝලේ විස්තරයි හැමදේම මං එයා එක්ක කියනවා. එයා ඒ කාලේ සල්ලි එකතු කරලා බයික් එකක් ගත්තා. ඒක අරන් ආපු දවසේ කිව්වේ "මං මේකේ මුලින්ම අරන් යන්නේ කුමාරි.. එහෙම අරන් ගිහින් වට්ටනවා  මහ පාරේ."කියලා. ඒත් අන්දි එහෙම මාව වැට්ටුවේ නම් නැ.

කොහෙම වුනත් මේ දවස්වල අපේ අයියා හිටියේ ගමෙන් පිට ජොබ් එකක. අක්කත් බැදලා ගිහින්. අම්මයි මමයි විතරයි හිටියේ ගෙදර. අන්දි තමයි අපේ ජීවිත වල ආරක්ෂකයා වෙලා හිටියේ. රෑ වෙනකොට අපේ ගෙදරට එනවා. අපේ තනියට. දැන් මතක් වෙද්දි හිතෙනවා එහෙම කැප කිරීමක් එයා කරේ ඇයි කියලා?. මං ඒකයි කියන්නේ එයා තරම් විශ්වාසවන්ත පිරිමියෙක් මට මුණගැහිලා නැහැ කියලා. ගේ වටින් පොඩි හරි සද්දයක් ඇහුනොත් අපිට කලින් එයා නැගිටලා ගිහින් බලනවා.අවුරුදු දෙකක් විතර එයා මාව පරිස්සම් කරා.
ඊට පස්සේ මං කැම්පස් ගියා. එයා ගමේ වැඩ කරගෙන හිටියා. කවදාවත් එයා මට ආදරෙයි කියලා නැහැ.මං හිතන්නේ අපි අතරේ තිබුනේ සහෝදර බැදීමක්.එයාගේ අයියා කෙනක්ගෙන් මට වුනු වරදකට එයා දවසක් හොදටම ඇඩුවා. මං උසස් පෙළ කරන කාලේ.

"මට සමාව දිපන් කුමාරි...
ආයෙ එහෙම දෙයක් අයියගෙන් වෙන්න තියන්නේ නැහැ මං.." මට දැන් මතක් වෙද්දිත් දුකයි. එයා අයියලගේ වැරදි වලටත් මගෙන් සමාව ගත්තා.

කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ ඉන්නකොට එයාලගේ තාත්තගේ ලොකු වරදක් නිසා අපියි එයාලයි අතර තිබුනු සම්බන්දය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.ඒත් මං හිතුවේ නැහැ තාත්තගේ වැරදි වලට අන්දිට දඩුවමක් දෙන්න. මට එයා එක්ක කතා කරන්න ඕන වුනා . ඒත් ඒකට අද වෙනකම් අවස්ථාවක් ආවේ නැහැ. :( . එයාටත් ඕන ඇති මාත් එකක් කතා කරන්න. ඒත් මොනව හරි බලපෑමක් නිසා එයා මාව මගඇරියා. 
පුංචි කාලේ අත්දෙක අල්ලගෙන සෙල්ලම් කරපු මගේ යාලුවා. සහෝදරයා මගේ අත අත ඇරලා දැම්මා.

මගේ ජීවිතේ ඒ දුක තාම තියෙනවා. තවමත් ගෙදර ගියාම අහම්බෙන් දැක්කම යන්තම් හිනාවෙලා යනවා. කවදහරි මාව බදිනවා කියා කිය කිය හිටිය අන්දි මටත් නොකියම කසාද බැන්දා. එයා ගේ ළග නංගි කෙනෙකුට කියලා තිබුනා. මට කුමාරිට කියන්න ඕන.. එත් ගෙදර නිසා කියන්න විදියක් නැහැ කියලා. එදා මට හිතුනා ඇත්තටම එයාට මාත් එක්ක කතා කරන්න ඕන ඇති කියලා. එයාට දැන් එයා වගේම සුදුම සුදු පුතෙක් ඉන්නවා.

අපි දෙන්න පොඩි කාලේ ඉදලම එකට ඉදලා අද දෙපැත්තට වෙලා ඉන්නේ කියලා මට තේරෙන්නේ නැහැ.

කවදහරි අපි දෙන්න ආයෙ මුණගැහේවි. එදාට අපි අර පුංචිම පුංචි දවස්වල වගේ කතා කරමු. අත් දෙක අල්ල ගන්න නම් බැරි වේවි. ඒත් අපිට ඒ අතීතයට එක පාරක් හරි ගිහින් එන්න පුලුවන් වේවි.

කතාව දිග වැඩි වුනාද මන්දා.. උපරිම කෙටි කරලා ලිව්වේ. ලියූ දේට වඩා නොලියූ දේ වැඩියි කියලයි හිතෙන්නේ...


Sunday, August 19, 2012

බාලේ බැදි ආලේ......

මටත් තිබුනනේ බාලේ බැදි ආලයක්.... මේ කියන්න යන්නේ ඒ කතාව

එයා මගේ නැන්දගේ පුතා. මට වඩා මාස 3 යි වැඩුමල්. හිටියේ ඉස්සරහ ගෙදර. මෙයා ඉපදිලා මාස තුනකින් මං ඉපදුනේ. සුටි කාලෙ ඉදලා එකට හැදුන නිසා අපි දෙන්න හරිම යාලුයි. ඒ කියන්නේ එයා නැතුව මෙයාට බැ මෙයා නැතුව එයාට බැ..අපි දෙන්න රන්ඩු කර ගත්තේ එකම එක දේකටයි. ඒ එයා මට වඩා සුදුයි. එයා හරි ආඩම්බරෙන් හිටියේ ඒකට. ඒත් ඉතිං මාව නැතුව නම් කිසි දෙයක් බැහැ. මං එයාගෙ නංගිනේ. මෙය මට කිව්වේ නන්දි කියලා මං කිව්වේ අන්දි කියලා. අය්යනේ ඉතිං. මෑතක වෙනකම්ම එයාට කට්ටිය කතා කරේ අන්දි කියලා. 
     අපි දෙන්න සෙල්ලම් කරේ එකට. මං කොම්පිට්ටු හැදුවම එයා කරේ එවා කඩලා බිදලා දාන එක. අපිට සෙල්ලම් බඩු තිබුනෙ නැහැ සෙල්ලම් කරන්න. එයා තමයි සුටි සුටි සෙල්ලම් බඩු මට හදලා දීලා විරයා වෙන්නේ. අපේ සෙල්ලම් ගෙදර එයා තාත්තා මං අම්මා. මං දරුවො නළවනවා. එයා කැම හොයන්න යනවා.
    ඔන්න  ඉති ඔහොම ඉන්න කොට අපි දෙන්න දැන් මොන්ඩසෝරි යන වයසේ. අන්දියා කරේ වැඩි පුරම කට්ටි පැනපු එක. අපි දෙන්නම සමහර දවස්වල කට්ටි පනිනවා. දෙන්න එක්ක කැලේ සෙල්ලම් කරලා වෙලාවට ගෙදර යනවා. මොන්ඩසෝරි යනවට වඩා කැලේ කොලේ ඇවිදින එක කොයිතරම් සතුටක්ද? අපේ අක්කන්ඩි නම් මට මේවට හොදට දඩුවම් කරා. ඩී... ඒ ඉතිං මං කැලේ කොලේට යයි කියලා බයටනේ. ඔය කාලෙම තමයි අන්දි කිව්වෙ‍ මං කවදහරි නන්දිව කසාද බදිනවා කියලා. ඒක හැමෝටම කිව්වා. ඩී... තේරුමක් ඇතිව නෙවෙයි ඉතිං.

අපි දෙන්නට එක ළග පුටු දෙකක් නැති වුනොත් අඩනවා දෙන්නම. අන්දි නැතුව නන්දිට බැහැ. හැමදාම කොහොම හරි එක ළග ඉදගන්නවා. එයා වැඩිපුර කරේ සෙල්ලම් කරපු එක. මං නම් සුට්ටක් විතර දස්සයිලු එයාට වඩා.
ඉතිං කොහෙමෙ හරි ඉස්කෝලෙට දැම්මා.  අපේ අක්කා තමයි මාව භාර දුන්නේ. එක දවසයි දෙන්න ඉස්කෝලෙ එක්කගෙන ගියේ. ඊළග දවසේ ඉදන් අන්දි කිව්වා අක්කේ ඔයා එන්න එපා මං නන්දිත් එක්ක ඉස්කෝලේ යන්නම් කියලා. එයා විරයා වෙලා ඉදිරිපත් වුනා. එදායින් පස්සේ හැමදාම අපි දෙන්න තනියම ඉස්කෝලෙ ගියේ. ඉතිං පාර දිගේ ගඩා ගෙඩි කකා ඉස්කෝලෙ ගිහිපු කාලෙ නම් හරිම සුන්දරයි. පන්තියේ අපි දෙන්න හිටියේ එක ළග. එක ළග ඕන කියලා දෙන්නම ඇඩුවා. අපි දෙන්න ළග නපුරු වස කොල්ලෙක් හිටියා. අපි දෙන්නටම හරියට කරදර කරා. අන්දිගේ අයියා එතකොට 4 වසරේ. එයා තමයි ඇවිත් අපි දෙන්නව බේර ගන්නේ.

          අපි දෙන්න ඔය විදියට හැමදාම ඉස්කෝලේ ගියා. අන්දි මට ගැහුවම මං හොදටම අඩනවා. ආයෙම එයාම ඇවිත් මාව යාලු කර ගන්නවා. ගෙදර ගිය වෙලාවෙ ඉදන් කැලවල් වල තමයි අපි දෙන්නා හිටියේ. අපේ අක්කා ඇවිත් දෙන්නටම ගහලා එක්කගෙන යනවා.
       ඔය කාලේ තමයි අපේ අක්කා කැම්පස් ගියේ. අක්කා මාව එක්කගෙන යන්න එනවනම් මං හරිම ආසයි. කවදාවත් කවුරුවත් අපි දෙන්නව එක්කගෙන යන්න ඇවිත් නැහැනේ. ඒ නිසා මාර ආසයි. අක්කා කියනවා පැටියෝ මං ඊළග සදුදා ගෙදර එනවා. එනකොට ඔයාව එක්කගෙන යන්න එන්නම් කියලා. අනේ ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා පාරට වෙලා බලන් ඉන්නවා අක්කා එනකම්. දවසක් ඔහොම ඉදලා පාරෙ යන මනුස්සයෙක් අපි දෙන්නට ටොපිත් අරන් දීලා කිව්වා. අක්කා ආවම මං එවන්නම් දැන් දෙන්නම යන්න කියලා. ඊය පස්සේ තමයි ගියේ. ඉතිං අක්කා ආවේ නැති වුනාම හරිම දුකයි. දැනුත් ඒ දුක මට දැනෙනවා. සුටිම කාලේ ඇතිවුන සුටිම අහිංසක බලාපොරොත්තුවක්. ඒත් ඒක ඉටු වුනේ නැහැ. :'( අක්කා ඉතිං බොරුවට අපි අඩනවට තමයි අරෙහෙම කියලා තියෙන්නේ.

            ඔය වගේ එක දවසක් හොදටම වැස්ස. ගංවතුර ගලලා. අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා අන්දිලාගේ ආච්චි කෙනෙක්ගේ ගෙදර ගිහින් එහෙන් කාලා හොදට නිදා ගත්තා. අපිට නිකම් වත් හිතුනේ නැ අපි දෙන්නව හොයාවි කියලා. අම්මයි නැන්දයි අපි දෙන්නවා හොයනවලු අඩ අඩා. අනේ මේ දරු දෙන්නා කෝ. අද කුකුලෙකුත් ගහගෙන ගිහින්ලු කිය කිය.. පස්සේ බැරිම තැන තමයි ආච්චිලහට ඇවිත් තියෙන්නේ. එනකොට අපි දෙන්න හොදටම නිදි. අවු 8 දරු පැටවුනේ ඉතිං.

ඔහොමම අපි දෙන්න ලොකු වුනා. හැමදාම ඉස්කෝලේ ගියේ එකට. අපි සිස්සත්වෙත් ලිව්වා දෙන්නම පේල්.. ඩී. ඊට පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා 6 වසරට. ඒත් එකටමයි. ඒකාලේ අපි කුරුදු ඉඩම් වලයි රබර් වතු වලයි තමයි කරක් ගැහුවේ. අපේ අම්ම නම් කිව්වේ ගොඩම් බැද්ද පූ කරනවා කියලා. අපි රබර් වතු වල තියෙනු පොඩි දිය පාරවල් වල (ඒ කාලේ නම් අපිට ඒවා ගගවල් වගේ) අපි දෙන්න මැණික් ගරනවා,තිත්තයො අල්ලනවා.....පී.. කොහොමද මැණිකක් වත් හම්බවුනා නම්...හැමදාම රතු කට්ටයි නිල් කට්ටයි හම්බවෙනවා.

අපි දෙන්න ඊළගට හොයා ගන්න පුලුවන් තැන් තමයි මාර ගහ යටයි. කජු ගස් යටයි. අපි දෙන්න අතුරැදන් වුනාම අම්මයි අයියයි අක්කයි අපි දෙන්නව හොයාගෙන එන්නේ ඔය තැන් වලින් තමයි. මාර ගහ බාප්පලගේ. කජු ගහ අපේම යාලුවෙකුගේ. හොරාට තමයි ඒවායි කජු කැඩුවේ. අපි දෙන්න හොරකමටත් දස්සයි.
අපි 7 වසර වෙද්දි සුට්ටක් ඇත් වුනා. ඒත් ඒ ඉස්කෝලෙදි විතරයි. මගතොටේදි එකටමයි හිටියේ.අනේ ඇත්තටම මුන් දෙන්නා බදිවිද දන්නේත් නැහැ කියලා ඕන තරම් නැන්දා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා.  8 වසර වෙද්දි මං සුට්ටක් ලොකුයි. කොල්ලෝ එහෙම ටිකක් බලනවා වැඩියෙන්. අන්දිට ඉතිං යකා නගිනවා. මං කොල්ලෝ දිහා බලනවා කියලා රන්ඩු කරනවා. ගෙදරට කේලම් කියනවා. වැඩ ගොඩායි ඉතිං..

ඔය කාලේ මගේ ජීවිතේ යං විසේස සිදුවීමක් වුනා. අන්දිට මෙලෝ තේරුමක් නැහැ. මේ විජ්ජුම්බරේ මොකක්ද කියලා..

එයා ඒකට පුතිචාර දක්වපු විදිය ඊළග පොස්ට් එකෙන් කියන්නම්....

දිග වැඩි වුනාද මන්දා





Friday, August 17, 2012

සියල්ල අවසන්ය.... එහෙත් නුඹ..?



 පළමුව
Black List කළෙමි
නුඹේ දු.ක
මකා සියලු මතක
මුහුණු පොත මත රැදි
Unfriend කර දැමුවෙමි
නුඹව..
එයිනිදු නොනැවතී
block list කළෙමි යළිත්
නුඹෙ මුහුණු පොත

සියල්ල අවසානය....

ඒ සියල්ල අවසන
නුඹ 
වෙනදටත් වඩා 
සුන්දරව
මගේ හදවතේ 
පළමු තැන හිද
හිනහෙනවා දුටුවෙමි.



ප.ලි.: මෙය කවියක් නෙවන බවත් නිකන්ම නිකන් සිතුවිල්ලකට අනුව පෙළ ගැසුනු පද පෙළක් බවත් කරුණාවෙන් සලකන්න

Wednesday, August 15, 2012

මහවැලි ගග ඉස්මත්තේ බිංකෙටුවා මං



ඔන්න කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ දෙයියනේ කියලා අපිට හොස්ටල් නැහැ. බෝඩිමක් හොයා ගන්න හැමතැනම ඇවිද්දා. අන්තිමට කැම්පස් එකේ ඉදලා හැතැක්ම 9 ක් 10 ක් විතර දුරින් තිබුන බෝඩිමක් හොයා ගත්ත. ළගිනුත් තිබුනා. ඒත් ආර්ථිකය දුර්වල නිසා අපි කෙල්ලෝ පස් දෙනෙක් දොලුව පාරෙ තිබුනු  බෝඩිමට ගියා. ඒ කියන්නේ අනිත් තැන්වල රු 1200ක් විතර ගන්නකොට අපෙන් ගත්තේ 600 යි. කිසි අඩු පාඩුවක් නැහැ. ස්වභාවික නල ජලය තිබුනා. මහවැලි ගග අද්දර සුන්දර කදු මායිමක තමයි ඒ ගෙදර තිබුනේ.

ඉති ඒහේ හිටිය අයියයි අක්කයි දෙන්න හරිම හොදයි. ඉතිං ඔය දවස්වල අපේ එක්කෙනෙක් ළග වත් කන්න කියලා සත 5 ක් වත් තිබුනේ නැහැ. කැම්පස් ජීවිත ගැන ආයෙ අලුතින් කියන්න දෙයක් නැහැනේ.ඉතිං බෝඩිමට ගිය  මුල්ම දවසේ කන්න නැහැ කියලා කියන්නත් ලැජ්ජයිනේ. කෝකටත් කට්ටිය එක්ක වතුර පීල්ලකින් නාලා කරලා ක්ලීන් සූට් ඇදලා කරලා කෑම හොයන්න පිටත් වුනා. විලි ලැජ්ජාවේ බැහැ. කෙල්ලෝ පස් දෙනා හැතැක්ම දෙකක් විතර පයින් ඇවිල්ලා දන්සැලකට ගොඩ උනා. හොද වෙලාවට පොසොන් කාලේ. ‍දන්සැලේ හිටපු අයියලා මල්ලිලා ටික අපිව දැකලා ඉක්මනටම කෑම බෙදලා දුන්න. හිතෙන්න ඇති  සා ගින්දරේ ආපු කට්ටියක් කියලා. මොකද මූණක කටක ලේ කදුලක් වත් නැහැනේ.

ඔන්න එදායින් පස්සේ බෝඩිම් ජීවිතේ පටන් ගත්තා. එක බස් එකකින් පැයකට විතර පස්සේ තමයි ඊළග බස් එක එන්නේ. ඒ දවස්වල දොලුවේ බස් එකක් දැක්කත් වදිනවා. මොකද ඒ තරමටම දුර්ලභයි දොලුවේ බස්.

ඉතිං බෝඩිමේ අයියලගේ ප්‍රධාන ජීවන වෘත්තිය වුනේ හේන් ගොවිතැන. මහවැලි ගග අද්දර තමයි හේ න තිබුනේ. මුල් දවස්වල අපි ආසාවට ඒක බලන්න යනවා.අපිට කන්න නැති වෙලාවට බෝඩිමේ අක්කා එලවලු එහෙම අපිට දෙනවා. ඉතිං මේකට කලගුණ සලකන්නත් එක්ක අපිත් ලැස්ති වුනා හේන් කොටන්න යන්න. :P ඉතිං පාඩම් වැඩ සේරම පැත්තක තියලා අපි 4 දෙනෙක් පෝලිමට කොට කලිසනුත් ගහගෙන හේනට යනවා. වටේ පිටේ කටිටිය හිතන්න ඇති අයියලා මේ පාර නම් හොද පටිටියක් වැඩට අල්ලගෙන කියලා :p

අපි හේන් කෙටුවා 4 දෙනෙක් එක්ක. කට්ට අවුවේ.ගෙදරදි නිකමට උදැල්ලක් අල්ලන්නේ නැහැ ඒ වුනාට. ඒ වගේද නිකන් කන්න හම්බවෙන එක. එලවලු ජාති අපේ අතින්ම පැල කරා. ඇත්තටම හරි සතුටින් ඒ හැම දෙයක්ම කරේ. බෝංචි, මයියොක්කා,ලීමා,දඹල,බඩ ඉරිගු,... වගේ ගොඩක් ජාති හිටෙව්වා. ඒ වුනාට අපි බයෙන් හිටයේ අපේ අතින් අල්ලලා ඕවා පැළවෙයි ද දන්නේ නැහැ කියලා. ඒත් සරුවට හැදුනා. අපේ අත්ගුණේටද කොහෙද. ඩී
වැඩ කරලා ඊළගට කරන්නේ මහවැලි ගගේ නාන්න යන එක. ගග දැක්කම මුලින් බය හිතුනත් පස්සේ ගග අපිට හුරැ වුනා මං හිතන්නේ...පීනන්නත් පුරැදු උනා. මට නම් ගෙබි ආරට හොදට පීනන්න පුලුවන්.:p
ඔන්න ඔය වගේ සුන්දර කාලයක් අපි බෝඩිමේ ගෙව්වා. කාලය යනවා දැනුනේ නැහැ. අපිම වවපු ඒවා තමයි කෑවේ.
තව එකක්.. බෝඩිමේ තිබුනා ලොකු කාබරංකා (කාම+රංකා)ගහක්.. ඕවා කැවම මොනා ද ඇවිස්සෙනවලු. ඒ කතා වලින් වැඩක් නැහැ. මගේ ඒ කාලේ ලොකුම විනෝදාශය වුනේ ගහට නැගලා පහළ පාරෙන් යන කොල්ලන්ට කාබරංකා ගෙඩි වලින් ගහන එක.

ඔය විදියට ගස්වල කොලයි මලුයි ගෙඩියි අලයි මුලුයි කාලා මාසෙකින් විතර ගෙදර යන්නේ ඇවිදින ඇටසැකිලි වගේ වෙලා.
ඒත් ආයෙම ඒ කාලෙට යන්න පුලුවන්නම් මං දෙපාරක් හිතන්නේ නැහැ.... ඒ තරම් සුන්දරයි


Monday, August 13, 2012

සිතුවිල්ලක්.......


තාරකා නෙතු යුග
එලිය දුන් නුඹට
පෙර දින
මතක නම් 
ඒ මග තවම ,

ඔබ එනවද කියන්න......

සුමුදුම සුසුමකට 
ඉඩ ඇත
අඩ සද මත.....

Friday, August 10, 2012

ඔබ ගැන දැනගත්ත කැමතිද?

ඔන්න අද නම් වැදගත්ම වැදගත් පොස්ටුවක් දාන්න හදන්නේ. ඕනම කෙනෙක් නැමතියිනේ තමන් ගැන දැනගන්න. මේක මං අත්හදා බලපු එකක්. මට නම් 100% නිවැරැදි පිළිතුරු තමයි ලැබුනේ. මේක අනේ මං හොයාගත්ත එකක් නම් නෙවෙයි. ටිබෙටයෙහි අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා එතුමාගේ අනුගාමිකයන්ට  තමන් පිළිබදවම අවබෝධයක් ලබා ගැනිමට තමයි මේ ප්‍රශ්නාවලිය දීලා තියෙන්නේ.
මේකෙදි තමන් තමන්ට අවංක වෙන්න ඕන. බොරු හිත හිත දාලා හරියන්නේ නැ.

පුංචිම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට කලින් ඔයාල හිත එකලස් කරගෙන විනාඩියක් පමණ ඇස් පියාගෙන ඉන්න ඕන. 
ඊළගට පහත නම් කරපු සත්තු 5 දෙනා ඔයා කැමති විදියට පෙළගස්වන්න. වැඩි වෙලාවක් හිත හිත ඉන්නේ නැතුව මුලින්ම හිතට එන අදහසට අනුව පෙළගස්වන්න.

අශ්වයා
එළදෙන
බැටලුවා
ඌරා
කොටියා

පහත දැක්වෙන පාට ට තමන් කැමති පවුලේ හෝ ජීවිතයට සමීප කෙනෙක් නම් කරන්න

උදා : කහ - අපේ අම්මගේ තාත්තගේ සීයගේ බාප්පගේ ආච්චිගේ දුගේ දුව
කහ
තැඹිලි
රතු
සුදු
කොල


පහත දක්වා තිබෙන දේවල්  ගැන ඔයාලට මුලින්ම හිතෙන අදහස ලියන්න
උදා : මීයා- මට වඩා ටිකක් ලොකුයි
බල්ලා
පූසා
මීයා
කෝපි
මුහුද

මීළගට සතියේ කැමති දවසක් හා කැමති අංකයක් නම් කරන්න

මේකෙන් බලාගන්න පුලුවන් තමන්ගේ ගතිගුණ සහ තමන් ජීවිතයේ වැදගත්කොට සලකන දේවල් ගැන. 



මේකට පිළිතුරු අවශ්‍ය අය කමෙන්ට් කරන්න.




Sunday, August 5, 2012

නූපන් දෝණියට.........



තරු නෙතු දිලෙන ඉගිබිගි කෙලි            සිනාවා
මාගේ ඇසට තුටු කදුලැලි                  ගෙනේවා
පියතුම වෙහෙස දුරලන කවි                 කතාවා
දුක් දොම්නසට නුඹෙ හස වේ               ඉනාවා


බෝනික්කන්ට පණ ලැබිලා හඩනු         ඇසේ
සුරතල් හඩින් ඇසේවි නැලවිල්ලෙ         රසේ
නූපන් දුවේ මා ළය උණු කරන්            මෙසේ
නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ              කුසේ

Thursday, July 26, 2012

තවත් ආදර කතාවක්



හීන තියන් ඇස් අද්දර
නුඹ එනකම් මග බැලුවට
මටත් වඩා වටින කෙනෙක්
ඉන්නා බව දන්නවා මම...

නෙතුඅග කදුලැලි පිරුණට

නුඹට වගක් නැ ඒ ගැන
දුක අතරින් සිනහ වෙමින්
නුඹ වෙනුවෙන් ඉන්නම් මම...

තවටික කාලෙකින් පසුව
සිහිවෙයි කල වැරදි නුඹට
කියන්න එන පෝය සදට
ආදරෙයිද සුදු මැණිකෙට..

Tuesday, July 24, 2012

ඇත්තම කතාවක්

මේක ඇත්තම කතාවක් කිව්වම අනිත්ව බොරු කතා කියලා හිතන්න එපා. මේ සිදුවීම මගේ ජීවිතයේ මං වැඩුපුරම දුක්වුනු සිදුවීමක්. මට ඉන්නේ අම්මයි අක්කයි අයියයි. අපේ තාත්තා අපි පුංචි කාලෙම නැතිවෙලා. අක්කයි අම්මයි තමයි ජීවිතේ බර කරට අරගෙන තියෙන්නේ. ඉති අවුරුදු 30 ත් පහු වෙනකම් ඉදලා අපේ අයියා මහණ වෙන්න ඕන කියලා කිව්වත් ඒත් අපි කවුරුවත් ඒකට කැමති වුනේ නැ. මොකද ඒකට අපිට අපේ හිත හදාගන්න බැරිවුනා. අම්මා එකම ඉල්ලීමක් කළා. ඒ තමයි නංගි කසාද බන්දලා දුන්නයින් පස්සේ යන්න .. එතකම් ඉන්න කියලා. ඒත් ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව එයා නොකියම යන්න ගියා. ආයෙත් සේරම කරදර ආවේ අක්කට. මමත් එතකොට ඉගෙනගන්නවා. මගේ අක්ක ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් භාර ගනිපු විදිය මතක්වෙද්දි ලියවුනු කවියක් මේක.

කසාවත සැහැල්ලු ඇති නුඹට
බරයි අපට මේ ජීවිතය
නොවිමසා හැඩුම් වැළපුම් කිසිවක්
නික්මුණා නුඹ ගිහි ගෙයින්
මුහුණ දෙන්නට මිස ජීවිතයට
පලා යන්නට දිරිය නැත මා හට
නුඹ තබා ගිය බරත් අරගමි හිස මතට
තවත් තිබේ නම් කරදර
දීපන් මල්ලියේ මේ හිසටම
නුඹ නිවන් දකින විට
මට  ළගයි අටලෝ දහම


 ප.ලි : වසර දෙකිකන් පස්සේ අයියා ආයෙම ආවා. මාව බන්දලා දෙන්න වෙන්න ඇති. ඒවට අහු‍වෙන්නේ නැ මං. මං මේ දවස්වල එයාටත් හොරා එයාට කෙල්ලෙක් හොයනවා.:P

මොනවා හරි කියලා යන්න......

Saturday, July 21, 2012

අපි දෙන්නා

එයා තමයි මගේ අඹයා. අද එයාට මේ බොලොක්කය පෙන්නන්න හිතන් ඉන්න නිසා එයා ගැනත් ලියන්න හිතුනා. මොකද අපි දෙන්න තරම් බාල්දි පෙරලගනිපු කෙල්ලෝ දෙන්නෙක් තවත් නැතුව ඇති. අපි යාලුවො තමයි.ඒත් අඹ යාලුවො වුනේ 8 වසරෙදි. එදා ඉදන් අද වෙනකම් අඹයො.එයා නිලූ මම නිලා :P පන්තියේ 1 යි 2 යි හැමදාම. අපි දෙන්න තරමි පන්ති කට් කරේ නැ කිසිම ළමයෙක්. චක්කරේ බැරුව අව්වට වෙලා හිටිය හැටි තාමත් මතක් වෙනවා. මොකක් හරි මගඩි වැඩක් වුනොත් අපි දෙන්නගේ නම් දෙක ඒකෙත් තියෙනවා. හොද වැඩක් වුනොත් ඒකෙත් අපි දෙන්න ඉන්නවා. සාපෙළ කිට්ටු වෙනකොටත් හිතුනේ නැ පාඩම් කරන්න.අද වගේම එදත් වැඩ කරමු කියලා කියනවා විතරයි කරන්නේ නැ. කොහොම හරි ඒකත් පාස් කරලා උසස් පෙළට උසස් පාසලකට ඇතුලත් වුනා.
ඔන්න ඔයා කාලේ තමයි වැඩ්පුරම පිස්සු නටපු කාලේ. උදේට බස් එකේ එල්ලිලා යන්නේ තනි කකුලෙන්.ඒ තරම් සෙනග. නිලූ සාමාන්‍යයෙන් ඉතුරු රුපියලට බස් එක මැද්දේ රණ්ඩු අල්ලනවා. අපි දෙන්නට රුපියලත් හරි වටිනවා. අපි දෙන්නා ඉන්ටවල් එකට කන්න ගියාම ගෙදර යන්න තියෙන සල්ලි වලත් කාලා ඊළගට ඇටිකෙහෙල් කාපු උගුඩුවො දෙන්න වගේ බස් එකේ යන්න විදියක් නැතුව හන්දියට වෙලා ඉන්නවා අපේ අක්කා ඉස්කෝලෙ ඇරිලා එනකම් එයාගෙන් සල්ලි ඉල්ල ගන්න. එහෙම ඉල්ලගෙන තමයි ගෙදර ගියේ. අපි ටියුෂන් ගියේ අම්බලන්ගොඩ. බස් එකේ අම්බලන්ගොඩ කිට්ටු වෙනකොට නිලු මගෙන් අහනවා "ඒ බං අද පන්ති යන්නම ඕනද උඹට" ආයෙ ඉතං අහන්න දෙයක් නැ දෙන්නම පන්ති කට් කරනවා. ඒත් අපි කවදාවත් වැරැදි දෙවල් නම් කරේ නැ. ඒත් අයියෝ සල්ලි. බස්ටෑන්ඩ් එකේ තියෙනවා ලිට්ල් ලංකා කෑම කඩයක්. ඕකෙ කල්මරපු එක තමයි වැඩිපුරම කරේ. අන්තිමට අපි දෙන්නම කැම්පස් යන්න විභාගේ පාස් වුනා කිව්වම ඒකෙ ඉන්න සුදු මහත අයියා අපි දෙන්නට එයාගේ ගානේ පාටියකුත් දුන්නා. දැනුත් තනියෙන් ගියාම කෝ අනිත් නංගි කියලා අහනවා. ඒ තරමට අපි දෙන්නව මතකයි.ඉති එකට විභාගේ පාස් වුනාට මොකො දෙන්න ගියේ කැම්පස් දෙකකට :( මෝඩයෝ දෙන්නට තේරුනේ නැ එක කැම්පස් එකට සෙට් වෙන විදියට ඉල්ලන්න. කොහොම හරි මං පේරා. එයා කොළඹ. අවුරුදු 4ක් හිටියා. එයාට තිබුනා පට්ට පරණ ලව් එකක්.සාපෙ කරන කාලේ පටන් ගනිපු එකක්. ගිය අවුරුද්දේ දෙන්න බැන්දා. ඊට පස්සේ ලිට්ල් ලංකා එකට ගියාම අර අයියා මෙහෙම අහනවා. අනිත් නංගි නම් බැන්දා නේද? ඔයාට තමයි තාම බැරිවුනේ :/ අපි දෙන්නට කසාදේ තමයි එකට කරන්න බැරිවුනේ. ඉතිං බැදලා එයා මහත්තයගේ ගමේ ගියා. අපි ටික්ක දුරස් වුනා. ඒත් මොකද මන්දා හැමදාම හීනෙන් පේනවා. කරපු ජල්තර වැඩ මතක් වෙනවා. ඔන්න ඉති කෝල් කරනවා. නිලා ඔයා හොදින් නේද? මට උඹව හැමදාම හීනේන පේනවනේ බං. මං ඉතිං කියනවා මටත් එහෙමයි කියලා. ඔහොම හීන බල බල ඉදලා අන්තිමට අපි දෙන්න එකම ඔපිස් එකට පත්වීම් අරගෙන එනවා.:D ආයේ හොද කාලයක් වගේ. අපි උපාධිධාරී අභ්‍යාසලාභී අය නිසා අපිට නිවාඩු ගැනීම සපුරා තහනම්.ඒක ජොබ් එක ස්ථිර කරනකොට බලපාන්න පුලුවන් කියලා මතයක් හැදුන නිසා කවුරුත් නිවාඩු ගත්තේ නැ.

මෙච්චර දවස් හොදට හිටපු ළමයා මේ නිලු ආපු එකෙන් මොකක්ද දන්නවද උනේ. ඔපිස් එකේ අනිත් අක්කලා කියන විදියට නම් හොදටම වල් වෙලා. දැන් බබෙක් හදන එකත් පස්සට දාලා නිලු හිටියේ මාස 6 යනකම් නිවාඩු නැති නිසා. ඔන්න එක දවසක් මෙයා එනවා මුණත් බෙරි කරන්. අනේ බං ඇගටත් අමාරුයි වගේ.මං මේ බයෙන් ඉන්නේ.මිඩ්ඩෙන් පොස් වුනා බං :P :P (18 ට අඩු අය කැමති නම් කොටු දමාගන්න) ඔන්න ඔහොමයි මාස 6 ක් ඉන්න හිටපු අපේ නිලූ මාස 2 න් බබෙක් හැදුවේ.ඉති මං නරක් වෙන එක අහන්න දෙයක්යැ(වල්) ඉතිං මෙයා උදේට එනකොට අරගෙන එනවා ඇඹුල් මල්ලක්. ඒක වැඩිපුරම කන්නේ මං. යාලුවො අහනවා ඉතිං උඹලා දෙන්නගෙන් දැන් මොකාටද බබෙක් හම්බවෙන්න ඉන්නේ කියලා. ඒ තරමටම කට්ටියට හිතා ගන්න බැරිවුනා. මං ඇඹුල් කනවා පේනකොට අක්කල කියනවා උඔට නම් දෙයියන්ගෙම පිහිටයි නංගියේ. උඹ දැන් ඉදන් ඇඹුල් කාලා උඹට ඇත්තටම බබෙක් හම්බවෙන්න ඉන්න කාලේක උඹ මොනාම ඉල්ලයිද  දන්නේ නැ කියලා. ඒත් ඉති එහෙම වෙන්නම ඕනද ඇඹුල් කන්න.. නේද? :D

දැන් අපි දෙන්නම බලන් ඉන්නේ දුවෙක් වෙයි කියලා. එයාගේ මහත්තයා නම් කැමති පුතෙකුට. තාම අපි රස්තියාදු ගහන එක නම් නතර වුනේ නැ.ඔපිස් එකේ දීමනාව ලැබුනම අපි දෙන්න අම්බලන්ගොඩ දුවනවා. කාලා බීලා ෂොපින් කරන්න. ඉතිං ඔපිස් එකේ කටිටියට අතේ මාට්ටු වෙනවා. මේ නිලා නම් තව කමක් නැ ස්ටෑන්ඩ් ගානේ රස්තියාදු ගැහුවට මේ ළමයෙකුත් බඩේ තියාගෙන මේකිත් ඇවිදින හැටි. දැන් විජය කුවේණි එනකම් ඉන්නේ ඒකත් බලන්න යන්න :D 
දැන් මං බලන් ඉන්නේ බබා මං වගේ වෙනකම්.o.O .. නැ ඉති මං එක්ක වැඩපුර කාලේ ගෙවන නිසා සමහර විට එහෙමත් වෙන්න බැරි නැ නේද? එත් නිලු මෙන්න මෙහෙම කතාවක් කියනවා දරුවට ඇහෙන්න. "පැටියෝ ඔයා නිලා නැන්දා වගේ ලස්සන වෙන්න.. ඒත් නිලා නැන්දා වගේ මෝඩ වෙන්න නම් එපා" :P දවස තිස්සෙම මගේ කරච්චලේ අහගෙන ඉදලා දරුවා මං වගේ මොඩියෙක් වෙයිද මන්දා:/

තව කතන්දර නම් බොහොමයි...ඉස්සරහට කියන්නම්කෝ අප දෙන්න බුදු ගෙයක් ඇතුලේ සිරගත වෙලා හිටපු කතන්දරේ (වරදවා හිතන්න එපෝ...අපි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් වෙච්ච ගිනි විජ්ජුම්බර තමයි ඔය)

Friday, July 20, 2012

පොත් කතාවක්

මං උපන්ගෙයිම පොත් පිස්සියක්. පොත් තියෙනවා නම් කෑමත් එපා. ඉති පුංචිම දවස්වල ඉදලා කියෙව්වේ ලොකු ලොකු පොත්. ඒ කිව්වේ මං පැංචි කාලේ තමයි අපේ අක්කා කැම්පස් ගියේ. ඉති එයා කියවන ලොකු ලොකු පොත් තමයි මං කියෙව්වේ.මං 7  වසරෙදි තමයි මේං මේ පොත කියෙව්වේ. මේ කවරේ නම් නෙවෙයි ඒ කාලේ තිබුනේ..
වයසට නෙවෙයි කියවිල්ල :P  මං හිතන්නේ අක්කගෙන් තමයි මේ කියවන පිස්සුව හැදුනේ.ඉතිං බොහොම වැදගත් පොත් කියවගෙන ගියා. 9 වසර වෙද්දි ඔන්න පටන් ගත්තා පැණි බේරෙන ආල කතා කියවන්න. ඒත් උසස්‍ පෙළ ඉවර වුනහම ඒකත් අතඇරියා. ඒ කියන්නේ ඒ කාලේ තිබුනු සේරම පැණි කතා කියවල ඉවර කලා. මේ සේරම කරන්න මට අතිජාත මිතුරියක් හිටියා. උසස් පෙළ ඉවර වුන ගමන් පුස්තකාලෙට සම්බන්ධ වෙලා පරිවර්ථන පොත් කියෙව්වා. වැඩේ කියන්නේ අලුතින් පොත් ගන්නකොට පුස්තකාලේ මිස් ‍අහනවා ගන්න ඕන පොත් මොනවද කියලා. ඒ කියන්නේ පුස්තකාලේ රන් කරෙත් අපි දෙන්නගෙ කියවිල්ලෙන් තමයි. ඔය කාලෙම පිච්චමල නවකතා මාලාව කියෙව්වා. පුදුම විදයට ජීවිතයට කා වැදුනු නවකතා මාලාවක්.


ඔය අතරේ කැම්පසුත් ගියා කියමුකො. ඒ කාලේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ මගෙන් අහනව ශිෂ්‍යත්වෙ පාස් කරපු ගමන්ද කැම්පස් ආවේ කියලා. මොකද ඒ තරම් පැංචි කෙල්ලෙක් එතකොටත්. දැනුත් ඉතිං එහෙමටෙයි කියලා වෙනසක් නැ පී.  පේරාදෙණියේ තියෙනවා රටක් වටින පුස්තකාලයක්. කැම්පස් එකේ අන්තර්ජාල  පහසුකම් හිතේ හැටියට තියෙනවා කියලා දැනගන්නකම් මං වැඩිපුරම කල්මරපු තැන තමයි පුස්තකාලෙ.  ඔය සම්භව්‍ය අසම්භව්‍ය සේරම පොත් කියෙව්වා ඒ කාලෙ. විෂයානුබද්ධ පොත් කියෙව්වේ හරිම අහම්බෙන්. මොකට කැම්පස් ගියාද  කියලත් හිතෙනවා.

ඔය අතරේ මට අහම්බෙන් වගේ කියවන්න ලැබුනා මේන් මේ පොත.


මං හිතන්නේ මං වගේ කම්මැලි කෙල්ලෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලපු පොතක්. ජීවිතයේ හා මේ ගෙවී යන කාලයේ වටිනාකම මං ඉගෙන ගත්තේ මේ පෙතෙන්. හිත රිද්දගත්තු හැම වෙලවෙකම මං මේ පොත කියෙව්වා. පොත දිව ඔසුවක් උනා මට. අහම්බෙන් මේ පොත කියවලා පුස්කතාලෙට භාර දීලා එක දවසකින් ආයෙම පොත කියවන්න හිතුන මට. පුස්තකාලේ පීරලා ආයෙම හොයාගෙන පස්වනක් ප්‍රිතියෙන් තුරුළු කරගෙන ආව. ඒත් මට පොත ගන්න කාඩ් එක ලියන්න කලින් එතන හිටපු මිස් පොත බැලුවා ටිකක් අරෙහ මෙහෙ හරවලා. ඒ ගමන මොකක්ද අංකයක් එහෙ මෙහෙ වෙලා කියලා  ඒක ඒ වෙලාවේ දෙන්න බැහැ කිව්වා. හිතා ගන්න පුළුවන්න මට දැනුන වේදනාව. පොත කියවලා ඉගෙනු ගනිපු පාඩම් සේරම අමතක වුනා. මට හොදටම තේරුනා එයාට මේක කියවන්න ඕන වෙලා කියලා මේ. හවස 3න් පසුසේ ඇවිත් ගන්න කිව්වා. :'( මං අඩ අඩා ආවා. හවසත් ගියා .. ඒත් දුන්නේ නැ. දවස් ‍තුනක් මාව රස්තියාදු කරා. මං හිටියේ තරහින් වේදනාවෙන්..දැන් මතක් වෙද්දිත් දුකයි :( ඒ මිස් මට මෙහෙම දෙයක් කරේ ඇයි කියලා මං ගොඩක් ඇඩුවා. මං අන්තිමේදී තීරණයක් ගත්තා.මං පොතෙන් කියවපු දේ හිතට ගත්තනම් මට දැන් පිළිතුරක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ පොත මං සල්ලි වලට මිලදී ගැනීම. :) ඒ මිස්ට මං දැන් පිං දෙනවා. එයා මට සලකපු විදිය නිසා තමයි පොත දැන් මගේම උනේ.

ඒ වෙනකම් මං කැම්පස් එකේ කරේ චිත්තරපටි බලපු එකයි, නාට්‍ය බලපු එකයි, සිංදු අහපු එකයි විතරයි... අර පොත කියෙව්වම ඔය කලින් කියපු සේරම කරන ගමන් විභාග වලට හොදට මහංසි වෙන්න ඕන කියලත් හිතුනා. ඒකේ ප්‍රතිඵලයක් විදියට පළමුවැනි අවුරුද්දේ සිටම මහන්සි වූ සිසුන් සමගින්ම එක් වසරක් පමණක් මහංසි වී පන්ති සාම්ර්ථයක් පවා ගන්න පුලුවන් වුනා. සම්පූර්ණ ශක්තිය මට දුන්නේ මේ පොත. .ගාමිණි කුමාර විතාන මහත්මයට මං හදවතින් පිං දෙනවා. නොර්මන් මහත්තයටත්. ඊලගට මේ පොතත් කියෙව්වා.
මේ හැම පොතක්ම මට ශක්තියක් වුනා. කම්මැලි කෙල්ලෙක්ගේ ජීවිතේ ටිකක් හරි පිළිවෙලක් වුනේ ඔය පොත් වලින්. තව ඔය කාලේ චරිතාපදාන කියෙව්වා ගොඩක්.
** ආයෙත් මං කම්මැලි වෙලා :( ආයෙම ඔය පොත් අතට ගන්න කාලේ ඇවිල්ලා වගේ.

ප.ලි  : මං මොන දේ ඉගෙන ගත්තත් මට නණලළ වරදිනවා.ඒක නිසා මට ටීච කෙනෙක් වෙන්න නම් බැරි වේවි. නණ ලළ වැරදුන ඒවට සමාව භාජනයකට දාලා පරිස්සමට තියලා තියලා තියන්න. ඊළග පෝස්ට් එකටත් ඕන වේවි.


කවියක්ද මන්දා

මිනිස්සු සතුටටත් කවි ලියනවා. දුකටත් කවි ලියනවා. සමහර වෙලාවට ලියනවා නෙවෙයි ලියවෙනවා. ඒත් වැඩිපුරම කවි ලියවෙන්නේ දුකට වෙන්න ඕන.දවස ගෙවිලා යන්නත් ආසන්නයි. මොකක්දෝ නොතේරන හේතුවකට අද මං දුකින්. උදේ ඉදලම මොනා හරි වැදගත් දෙයක් ලියන්න ඕන කියලා හිතුවට අර නොතේරෙන වේදනාව මාව පස්සට ඇද්දා. ඒත් අන්තිම මොහොතේ හිතුන ඔන්න ඔහේ  කවියක් ලියන්න ඕන කියලා. ඒත් මේක කවියක්ද මන්දා.


පුස්කා ගිය රෙදි අතර
පරණ පෙට්ටගම්
අහුමුලුවල
පෙරල පෙරලා 
සෙව්වෙමි

වේයෝ කාවුන් කා
ඉරී ගිය පොත්
හැමතැනම

දුහුවිලි වැකුණු 
ලට්ට ලොට්ට ගොඩක් මැද
අපහසුවෙන් 
සොයා ගත්තෙමි
මගේම
සේයාරුවක්...පරණ
අයියෝ !!!
මගේ කැත !

Thursday, July 19, 2012

හන්තානට ලියූ කවිය




හන්තාන ගැන කියද්දි මේ ටිකත් ලියන්නම ඕන කියලා හිතුනා.  මං හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා හොස්ටල් එකේ. මං ඉතිං උදේ පාන්දර 8 ට විතර නැගිට්ල දොර ඇරපු ගමන් පේන්නේ සුන්දර හන්තාන කදුවැටිය. පාන්දර වැඩි හින්දද කොහෙද හැමදාම මිහිදුම් ටික දියවෙලා ගිහිල්ලා. ඉතිං එතකොට සේරම සිංදු මතක් වෙනවා. හන්තානට පායන සද , හන්තාන අඩවියේ,හන්තාන දෙසින් එන,සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි.... ඔය සේරම මතක් වෙනවා. ප්‍රේමය ,ආදරය , විරහව.. ඔය හැම දෙයක්ම ඔය ගීත වල තියෙනවා. 

ඔය දවස්වල අපි විභාගෙට පාඩම් කරනවා.පැවරුම් ලියනවා. එක එක දේවල් ඉතිං. කන්න බොන්න නාන්න වත් වෙලාවක් තිබුනේ නැ. ඉතිං ඔහොම ඉන්න කොට තමයි මට මේ අදහස ආවේ.

හන්තානට
නිම්නැති කලාවන්
වනපොතට මිස
නැත වෙලාවක්
නුඹ දෙස බැලීමටවත්

ගොනු කරන් සියලු දුක් 
හදවතට
ගිරි හිස දිනන තෙක්
හසරැලි සලන හැටි
මානව මානවිකාවන්
දැනුනිද නුඹට ඒ...,
සිනහ යට ඇති වේදනාවන්....

Wednesday, July 18, 2012

මගේ අම්මා

2008 වසරේ මම ලියපු කවියක් ...
නුඹ වින්ද දුකෙන් උපනෙන්.. මේ කවි මගේද නොදනිම්.......




මගේ අම්මා

ජීවිතය අරන් 
හිස මතට
පාලු දෙණියේ
හීන වැපිරෑ කළ
නොකල

හිරු උණු  වී වැගිරුනා
මහ පොළවට
නුඹ රූස්ස ගසක් සේ 
සෙවන වූවා
පුංචි පැළපතට

කදුලා සගවා නෙතු යටම
පෙමෙන් පුරවා හදවත
සතුට දන් දී අපට
නුඹ
උන්නා මුනිවතින්
දරාගෙන සියල්ල
නිසසලව.....


නුඹේ අම්මා ගැනත් කියලම යන්න....

Tuesday, July 17, 2012

උපාධිධාරින්ගේ සම්මුඛ පරීක්ෂණය

රාජ්‍ය සේවයට පය තැබීම - පළමු කලකිරීම


රාජ්‍ය සේවයට පා තැබීම යනු එක්තරා සිහින සැබැවීමකි. මන්ද එය පහසු කටයුත්තක් නොවන හෙයිනි. එය තරගකාරී තරග විභාගයන්ට මුහුණ දීමෙන් හෝ සම්මුඛ පරීක්ෂණයක් සමත් වීමෙන් හෝ උපාධිය සමත් වීම නිසා හෝ හිමිවන අවස්ථාවකි. ඒ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහාය.

 මා රාජ්‍ය සේවය සදහා සූදානම්ව සිටින මොහොතක (සියලු සුදුසුකම් සපුරා - උපාධිධාරී අභ්‍යාසලාභී) අපගේ තනතුරු ස්ථිර කිරීම සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යාශය මගින් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීම් ලිපි ලැබුනා. ඒ කියන්නේ ගාම නිළධාරී වසම් වල තනතුරු වලට තෝරා ගන්න තමයි මේ සම්මුඛ පරීක්ෂණය තිබුනේ. මම සහ අපේ කිප දෙනෙක් පුද්ගලිකව මෙම තනතුරු සදහා කැමති නැ..හේතුව ලොක්කොන්ට කඩේ යන්න කැමති නැති නිසා. ඉතින් සම්මුඛ පරීක්ෂණය තිබුනේ ...............

දැන් ඉතිං අකමැත්ත ප්‍රකාශ කරන්න කියලා හිතාගෙන ඔන්න ගියා සම්මුඛ පරීක්ෂණයට. සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්න එක එක ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයට වෙන වෙනම කණ්ඩායම් හිටියා. ඇතුලට යන කොටම  ගාම නිළධාරී වසමක සේවය කිරීමට කැමතියි හෝ අකමැතියි කියලා ලියන්න පොඩි පේපර් එකක් දුන්නා. දැන් දෙයියනේ කියලා පොල් ගෙඩි අකුරින් ලිවුවා අකැමැත්ත. අවස්ථාව එනකම් වාඩි වෙලා ඉන්න කොට මෙන්න බොලේ ඉන්ටර්ව්ව බෝඩ් එක අස්සේ අපේ ඇමති තුමාගේ ඇම්බැට්ටයෙක්. මේකා අපි ළගටත් ඇවිත් කියනවා වසමකට කැමතියි කියලා දාන්නලු. පුහ්.. මං නම් නෙවෙයි සත පහකට ගනන් ගත්තේ.

දැන් ඔන්න මගේ අවස්ථාව.බැරෑරුම් විදියට මාත් ගියා සහතික මිටියත් අරගෙන.ඉන්ටව්ව් බෝඩ් එකේ තුන් දෙනෙක් හිටියා. මුලින්ම දුන්න අකැමැත්ත ලියපු කොලේ. ඒක දැකපු ගමන් එක මහත්මයෙක් අනිත් කෙනොගේ කණට කොදුරලා මෙහෙම කියනවා. "මෙයාගේ නමත් ඇමතිතුමාගේ ලිස්ට් එකේ තියෙනවා. ඒත් මෙයා එපා කියනවා.. මේකට මොකද කරන්නේ" ඔන්න මට තරු පෙනුන වෙලාව. ඇයි දෙයියනේ මොකාද මේ ඇමතියෙක්ගේ ලිස්ට් එකට මාව ගාව ගත්තේ.  ඒ ගමන අනිත් කෙන‍ා කියනවා මෙයා අකමැතිනම් කරන්න දෙයක් නැ නම කපන්න.
එතකොට මේ ඉන්ටර්ව්ව එක සමුපූර්ණයෙන්ම වංචාවක්. ඇමතිගෙ ලිස්ට් එක ළග තියාගෙන තමයි මේ සේරම කරන්නේ. මං ඇමතිතුමාට බය‍වෙලා  හා කමක් නැ මගේ නම තියෙනවා නම් මං ජොබ් එකට කැමතියි කිව්වනම් ඔය ජොබ් එකට ඇත්තටම කැමති කෙනෙකුට ඒ අවස්ථාව නැති වෙනවා. එතනින් ආවෙම හිත කළකිරීමෙන්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඕව මොනවද ඕව අද සාමාන්‍ය දේවල් කියලා.. ඒත් රාජ්‍ය සේවයට අඩිය තියන්න බලන් ඉන්න අපි වගේ අයට ඔය වගේ අද්දැකිමකට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනහම හිතට දැනෙන කළකිරීමෙන් සදහටම රාජ්‍ය සේවය එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඊටත් හපන් වැඩේ තමයි ඇමති ‍ගෝලයෙක් කොල් කරලත් අහනවා ඔයාට ඕන වසම මොකක්ද කැමති එකකට දාලා දෙන්නම් කියලා. අපිට ආදරේට වේන්න ඇති :P

මේක ඇතුලේ තව කතන්දර ගොඩක් තියෙනවා. හිතේ තියෙන කළකිරීම නිසාමයි මේ ටිකත් ඔහේ ලියලා දාන්න හිතුනේ. ඔලුව කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් රැකියාවක් සදහා ස්ථිර ‍වෙනකම් උපාධිධාරි අභ්‍යාසලාභී හොදයි කියලා හිතුනා. තව ලියන්න ගොඩක් දේවල් තිබුනත් ටිකක් පරිස්සම් වෙන්න ඕන. හෙට වෙද්දි නාදුනන තුවක්කු කාරයෙක් වෙඩි තියලා යයි ද දන්නෙත් නැ.. එහෙම කාලයක් නේ මේක.

මන්ත්‍රීලගේ ලියුම් වලට රස්සා දෙන්නේ මෙහෙ නෙවෙයි නේද? 

ඔබගේ අදහස් උදහස් හරි වටිනවා....

Saturday, July 14, 2012

අහන් ඉන්න.. අහගෙන ඉන්න

කාලෙකින් ඇහුන හිත සංවේදි කරපු ගීතයක්
අහන්... ඉන්න
අහගෙන.. ඉන්න
මගේ හිත...මොනවද
මුමුණනවා...

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක
සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා..

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක
දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..

පොත් පිස්සුව

පොත් ගුල්ලො කිව්වේ....ඔය අවුරුදු ගානකින් අතකින් තියා ඇගිල්ලකින් වත් ඇල්ලුවේ නැති පොත් ගොඩවල් අතුලට වෙලා ඒවා ආරක්ෂා කරගෙන ඉන්න අයට ‍නෙවෙයි. පිස්සුවෙන් වගේ නොකා නොබී පොත් කියවන අයට. අපොස උපෙ කාලේ තමයි පොත් කියෙව්වේ වැඩිපුරම. විභාගෙට භය වුන නිසාද මන්දා පුදුම පොත් ගොඩක් කියෙව්වා. ඒවා කියෙව්වේ අම්මගේ කණින් රිංගලා. ඒ කාලේ ඒක ජොලි වැඩක් උනාට දැන් නම් අම්මා පව් කියලත් හිතෙනවා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කරන්නේ බත් එකත් අරගෙන පොතකුත් අරගෙන මේසේට වාඩි වෙන එක. බත් කන්න පැය දෙක තුනක් යනවා.. අම්මා නම් කියන්නේ මං කැවේ බත් නෙවෙයි පොත් කියලා. ඒ විදියට පොත් කැවට විභාගෙට ඕන පොත් නම් කන්න හරිම අමාරුයි. ප්ලේටෝලා ඇරිස්ටෝටල් ලා මොනවට ඉපදුනාද කියලා හිතුනා එතකොට.
කාලය දැන් වෙනස් වෙලා.. ඒත් පොත් පිස්සුව හොද වෙලා නැහැ. දැන් කියවන්නේ ඊබුක්. බානවා කියවනවා.ආයෙත් බානවා.දැන් අලුතෙන්ම හැදුනු පිස්සුව තමයි බ්ලොග් කියවන එක. කියවලා කියවලා අන්තිමට හිතුනා මාත් මක්කා හරි ටිකක් ලියන්න ඕන කියලා. ලියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. ටිකක් පිස්සු කේස් එකක් නිසා කොතන ගියත් කේස් එකක් දා ගන්නවම තමයි. උදේ ඔපිස් යන්න නැගිටින වෙලාවේ ඉදලම කතන්දර තමයි ඉතිං. කේස් කිව්වට වලි නම් නැහැ අනේ. මං හරි හොදයි ඩී. ගෙදර ක‍ට්ටියට තමයි ඉතිං :( දැන් ඉති පොතුත් කියවලා, ඊබුක් කියවලා බ්ලොග් කියවලා පට්ටපට දැනුමක් අරන් තියෙන්නේ. ඒ නිසා  ඉස්සරහට ලියන්න හිතන් ඉන්න එව්වා තේරේවිද මන්දා :P



Friday, July 13, 2012

සිහින අරන් එන්න

කෝ නුඹේ සිහින.....‍
නින්ද නොලබා දුටුව තුන්යම
ගෙවුනු කාලය මතකද
හීන අහුලමින් ඇසිපිය යට
මියගියාද සිහිනෙන්ම
ගියාද සිහින හොරු අරන්...

සිහිනයකි මේ පද පෙළ
පෙළ ගැසුන දගකාර හිතක
සිහිවේද සිහින  නුඔ දුටු
අන්දකාරය විනිවිද
මෙය නුඹෙයි නුඹෙමයි....
නුඹෙ සිහින අසපුවයි
සිහින දකින්නට.. සිහින මවන්නට
මේ සිහින දකිනා යාමයයි...