Sunday, September 2, 2012

දගකාරි අවුරුදු කුමාරි තරගෙකට ගිහින්......




මේක මං පුංචිම පුංචි කාලේ සිද්දියක්. මට මතක විදියටයි අපේ අක්කා මතක් කරලා දෙන විදියටයි එතකොට මට අවුරුදු 5 ක් විතර ඇති. මං පුංචි කාලේ හරිම අහිංසකයිලු. චුට්ටක් වත් කරදර කරේ නැහැලු අක්කට. ඒකටත් හරියන්න දැන්.......

ඔන්න අවුරුදු කාලේ ආවා. මේ  දවස්වල අපේ ගේ කිට්ටුව තිබුනා අවුරුදු උත්සවයක්. ඒ කාලේ හැටියට ඒක ලොකු අවුරුදු උත්සවයක්. ඒක බලන්න ගියාම හැමෝම කිව්වා මාව සිගිති අවුරුදු කුමාරිට තරගෙට යවන්න කියලා.... ඒත් මට කිසිම තේරුමක් තිබුනේ නැහැ. රෙද්දක් හැට්ටයක් තිබුනෙත් නැහැ. ඒත් දැන් එක  පොරයයි මේකට යන්න. ඒ ගමන අපේ අක්කා ළග ගෙදරකින් සූටි රෙද්දක් ගෙනත් දුන්නා. ඇදගෙන හිටිය ගවුමට උඩින් තමයි රෙද්ද ඇන්දුවේ. මට තාම මතකයි ඒක. කොන්ඩේ මලක් වගේ උඩට කරලා ගැට ගැහුවා.

සිගිති අවුරුදු කුමාරි කෙනෙක් වෙනවා කියන එක ගැන නම් මට කිසිම හැගීමක් තිබුනේ නැ. ඒත් අක්කගෙන් බේරෙන්න බැරිවුන නිසා ගියා තරගෙට. අනිත් අය හැමෝම ලස්සනට ඇවිත් හටියා. කොන්ඩෙ මල් ගහලා ලස්සන රෙදි හැට්ට ඇදලා.  මං තමයි මෙලෝ රහක් නැතුව හිටියේ. ඒ දවස්වල නම් ඒකට දුක් වෙන්න වත් තේරුමක් තිබුනේ නැහැ.අක්කයි අයියයි අම්මයි දකිද්දි මං ඇඹරි ඇඹරි හිටියා හොදට මතකයි.
අපිට මුලින්ම කිව්වා රවුමක් යන්න කියලා. අලේ මන් දල්ලෑ මං රවුමට ගියා අනිත් අයත් එක්ක. ඊට පස්සේ ඉස්සරහ බලන් හිටපු අයට ආයුබෝවන් කරන්න කිව්වා. ඒකත් කරා.

දැන් ඊළගට තියෙන්නේ සිංදුවක් කියන්න. අපේ අයියා මට පාඩම් කරවලා තිබුනේ ගාථාවක්. එයා හැමදාම මාව ජෝක් එකට ගන්න එක්කෙනානේ ඉතිං.. :(  දැන් හැමෝම තාලෙට නැලවි නැලවි සිංදු කවි කියද්දි මට කියන්න වුනේ ගාථාවක්. ඒත් ඒක ගථාවක් කියලා දන්නෙත් ගොඩක් ලොකු වුනාම. ඒ කාලේ ඒක සිංදුවක් කියලා තමයි හිතාගෙන හිටියේ.. පී . ඉතිං මට ඒක අමතක වුනා කියන්න කිව්වම. මං ඉස්සි ඉස්සි අයියගේ දිහා බැලුවා. අර ටිකිරි මාරි ඇඩ් එක වගේ.... අයියා දුරින් ඉදන් කියනවා අසකි....අසකි.. කියලා. එතකොට තමයි ටිකිරි මොලේ වැඩ කරේ.

මට අපේ අයියා පාඩම් කරවපු ගාථාව තමයි මේ, ඒ කාලේ මතකෙන් ලියන්නේ. මේකේ අඩුපාඩු ඇති.

"අසකි සක්වල හැම
බඹ සුර නරෝ එක්වම
එක්වෙති නොවති සම
එවයින් මුනිරජ වේ අසම සම"

ඉතිං ඕක තමයි මං කිව්වේ. දැන් මතක් වෙද්දි මං පව් කියලත් හිතෙනවා.කොහොමත් දිනන්න ගිය තරගයක් නෙවෙයිනේ. අක්කලත් ජොලියට කරපු වැඩක්නේ.

කොහොම වුනත් අන්තිම වෙද්දි තරග ප්‍රතිඵල කිව්වා. 
ප්‍රථම ස්ථානය .....කියලා දගකාරිගේ නම කිව්වා...... සතුටුද කියලා ඇහුවා... ඒක අහන්නත් දෙයක්යැ. අනුන්ගේ රෙද්දක් නේ ඇදගෙන ගියේ....මොනා බලලාද දන්නෑ මං දිනුවේ. සමහර විට අපේ අයියගේ ගාථාව නිසාද දන්නෙත් නැහැ. තෑග්ගට ලැබුනේ සුදු පාට වීදුරු ජෝගුවක්. ඒක අපේ ගෙදර තාම තියෙනවා. ඒක තමයි එහෙම තරගෙකට ගිය මුල් සහ අන්තිම අවස්ථාව....මොනා වුනත් හරි සුන්දරයි...

මගේ පොටෝ එකක් වත් නැහැනේ ඒ කාලේ ගනිපු එකක්.

ඔය තියෙන්නේ අවු 6 දි විතර ගනිපු එකක්. තාමත් මං පොටෝ වලට ඉන්නේ ඇද වෙලා ඇස් උඩ තියාගෙන.... :)

Wednesday, August 29, 2012

ජීවිතයෙන් දවසක්.....

එදා මං ඔෆිස් රාජකාරිවලට ක්ෂේත්‍රයට ගිය දවසක්...
දෙකට විතර වැඩ ඉවර කරලා දාඩිය පෙරාගෙන දුම දාගෙන ගෙදර දුවන් ආවේ. බඩගින්නයි මහන්සියයි දෙකම තිබුනා.
ගෙදරට එද්දි අයියයි අක්කයි අක්කගේ මහත්තයා මගේ මස්සිනා අයියයි අක්කගේ දරුවො දෙන්නයි සේරම ඇවිත් හිටියා. හැමෝම හිනා වේවි සතුටින් හිටියේ. හරියට පුංචි මගුල් ගෙයක් වගේ. කාලෙකින්නේ කට්ටියම එකට කන්නේ. අම්මා ඉතිං එහාට මෙහාට වේවි කන්න දෙනවා. අතනට මෙතනට දුවනවා. 
මං හිටියේ අලි බඩගින්නක.
අරෙහෙන් මෙහෙන් අත හොදගෙන මං
"අම්මේ.............. කට්ටියම කාලද?........"
බත් බෙදන ගමන්ම මං කෑ ගැහුවා
"හැමෝම කාලා..... ඔයාට ඇතිවෙන්න බෙදාගෙන කන්න...."
අපේ අම්මගේ සැම්පලේ දන්න නිසා මං අයෙම ඇහුවා
"අම්මේ.......ඔයා කෑවද?........"
"මං කාලා .., ඔයා ඇතිවෙන්න බෙදාගෙන කන්න"
"අම්මෙ එහෙනම් මං මේ.......සේරම බෙදා ගන්නවා....."

එහෙම කියලා මං තිබුනු එලවලු ජාති සේරම බෙදා ගත්තා. සෙල්ලම් බඩගින්නක නෙවෙයි හිටියේ.
මං කාලා බීලා කරලා සේරම ඉවර වෙනකොට අක්කලත් ගිහින්. ගෙදර තිබුනේ පාලු ගතියක්. මං ඉතිං හෙමිහිට මූණු පොත පැත්තට එන්න කොම්පිතරේ ළග ඉදගත්තා.

එතකොට තමයි මං දැක්කේ ඉතුරුවුන බත් ටිකකුයි හරියට එලවළුවක් වත් නැතුව අම්මා කන්නේ ඒ වෙලාවේ බව...ඒවෙනකම් දරුවන්ගේ කුස පුරවපු අම්මා තමන්ගේ කුසගින්න අපි වෙනුවෙන් ඉවසුවා....

මට ඒ වෙලාවේ හිතට ඇති වුන හැගීම ගැන කියන්න මං ළග වචන නැහැ...